පළමුවන කොටස
"අයියණ්ඩී ඕං ඔය බුලත් මඩිස්සලේ මෙහේ ගෙනාවා නම්!"
එහෙම කියාගෙන වෙද කුටියෙන් එලියට බැස්සේ... ගාණට හැදුන ඇඟ, හීනී දිගැටි අත් පා, හිනාවෙනකොට වම් පැත්තෙන් පේන නළ දත, දෙඋර තෙක් වවාපු දිග කොන්ඩයක් එක්ක... පෙනුමට පමණක් නොදැවෙනි කතාවෙන් පවා ගාම්භීර වෙච්ච, තිස්ස ගුරුන්වහන්සේ!
නම ඇහුවත් ගම් තුලාවේ හැම එකාගෙම ඇඟේ රෝම කූප පවා කෙලින් වෙන තිස්ස ගුරුන්වහන්සේ!
කොච්චරවත් රුස්සන්නේ නැති ගාණට උන්නත් ඒකායේ හිත හොඳයි කියලා දන්නේ ගුරුන්වහන්සේ ගේ ආවතේවකාරයා ට වඩා එකායෙම සහෝදරයෙක් වුන හීන් බණ්ඩා අයියණ්ඩීත් ඒකාගේ ගේ මිත්තනිය වෙච්චී කලු මැණිකායි පන්සලේ ලොකු හාමුදුරුවෝ ම විතරක්ම වෙච්චී.
එහෙව් නාහෙට අහන්නේ නැති, යකාටවත් බය නැති තිස්ස ගුරුන්වහන්සේගේ හිතුවක්කාර වැඩ නිසා කලු මැණිකාටයි බණ්ඩාටයි පපුවේ රැදාව හැදුන අවස්ථා අතේ ඇඟිලි ගාණටත් වඩා වැඩියෙන් ඇති!
"මලේ මේං බුලත් මල්ල, අර පන්සලේ ලොකු හාමූදුරුවෝ ඇන්න එන්න කිව්වායි කියාලා මේ එකෙක් අතේ පණිවිඩයක් එවලා තියෙන්නේ..."
හීණ් බන්ඩා කියැව්වේ බුලත් මල්ල ගුරුන්වහන්සේ ට දික් කරන ගමන්...
"ලොකු හාමුදුරුවෝ එන්න කිව්වා නම් නොගිහින් බෑ නොවෑ අයියණ්ඩී, මොකක් හරි කාරියක් වෙන්ටෑ! ඔය වෙද මල්ල ගත්තා නම්..!"
බුලත් කොළයක හුණු චුට්ටක් තවරලා ඒක කට අස්සට දාගත්ත තිස්ස ඒ කියාගෙන හුන් තැනින් නැගිට්ටා... දෙඋර තෙක් වැටිලා තිබ්බ තමාගේ කෙස් රොදෙ එකාසූ කර ගැටයක් ගහගෙන උන්දෑ කඩිසරව පය ඉක්මන්කලේ බිම් කළුවරට කලියෙන් පන්සල් සීමාවට යා ගන්න...
"කිරි අම්මේ දොර වහන් ඉඳපන් අපි ගොහින් එනකම්..."
එහෙම කිව්ව බණ්ඩාත් ගුරුන්වහන්සේගේ පිටි පස්සේන් පය ඉක්මන් කලා... ඉර බහින්න ටික දොහොකට කලියෙන් දෙන්නාටම හිටියේ පන්සල් සීමාවේ වෙද්දී බොහොම ගරු සරු ඇතුව තිස්ස ගුරුන්වහන්සේ ආවාස ගෙයි ළඟ ඉඳන් ලොකු හාමුදුරුවන්ට කතා කළා...
"ලොකු හාමුදුරුවනේ...!"
කාටත් බොහොම සීතල චරිතයක් වුන තිස්ස ගුරා ගරු කලා නම් ගරු කලේ උගේ කිරි අම්මා වෙච්චී කලු මැණිකායිටයි පන්සලේ ලොකු හාමුදුරුවන්ටයි බණ්ඩා අයියණ්ඩීටයි විතරයි!
ගමේ උන් ඒකාගේ වයසේ වැරැද්ද කියලා කිව්වාට තිස්සගේ ඒ ගතිය නම් නැවත්තන්න සක්කරයටවත් බැරි බව හැමෝම දන්න රහසක්! ඒත් තිස්ස ගුරුන්වහන්සේ, ගරු කල යුත්තන් හැමෝටම ගරු කරන බව දැනන් උන්නේ නම් අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක්. ඒකා එතරම් සීතල චරිතයක් වුණේ, ඒකගේ වයසේ වැරැද්ද කියලා හිතුවාට ඒක පරම්පරාවෙන් එන ගතියක් බව දැන උන්නේ කලු මැණිකා විතරයි!
ඔව් තිස්ස ගුරුන්වහන්සේ තරුණයෙක් තාමා ඒකාට තිහක් වුනාට උගේ හිතේ හයිය නම් අහල ගම් හතක ඉන්න එක ගුරෙක් ළඟවත් නොතිබ්බ එකක් වෙච්චී!
"මේ තිස්ස ගුරුන්වහන්සේ නේ... මම ඒත් බැලුවා මොකෝ
පමාව කියලා..."
ඒ කියාගෙන ලොකු හාමුදුරුවෝ ආවාස ගෙයින් පිටට වැඩියාම තිස්සත් බණ්ඩාත් දෙන්නාම ලොකු හාමුදුරුවන්ට පසඟ පිහිටුවලා වැඳ නමස්කාර කළා...
"සුවපත් වේවා!"
"වෙද මඩුවේ එකෙක් ට බෙහෙත් කලා අපේ හාමුදුරුවනේ ඒකයි එන්ට පමා උනේ"
"උඹත් උඹේ අප්පච්චී වගේ තමයි තිස්සයෝ උන්දෑ අකාලයේ මැරිලා ගියේ කරාපු ගුරුකමක් වැරදිලා වුනාට උන්දෑ වගේම තව එකෙක් මේ පොළවේ ඉතුරු කරලා යන්ට උන්දෑ අමතක කොරේ නැහැ නෙව... අනේ ඉතිං ගමේ උන්ගේ වාසනාව!"
ලොකු උන්වහන්සේ තිස්සව වර්ණනා කරද්දී තිස්ස නළ දත පේන්න ලස්සන හිනා කටක් පෑවේ ලොකු හාමුදුරුවෝ දිහාව බලාගෙනමයී.
"ඔබ වහන්සේ අපිට එන්නයි කිව්වේ?"
"මේන් මේ අපේ පොඩි උන්වහන්සේට අඩු වෙන්නේ නැති හිසේ රුදාවක් තිස්සයෝ දැන් වරු දෙකක් වගේ! ඒකයි මං පණිවිඩයක් යැව්වේ තිස්සට එන්න කියාලා... අපි යමුකෝ කුටිය පැත්තට.."
ලොකු හාමුදුරුවෝ වඩින දිහාට දෙන්නා එක්ක අඩිය තිව්වේ පොඩි නමට මොකද වුණේ කියලා හිත හිත...
තිස්ස කියන්නේ හොඳ කට්ටඩියෙක් වගේම හොඳ වෙදෙක් කියන්න්න අහල ගම් හතේම ප්‍රසිද්ද කාරණාවක්! මනුස්සයෙක් මැරෙන්න වැටිලා ඉන්නවා නම් ඒ මිනිහා ගෙන් අනෙක් උන්ට සතා සිව්පාවාට හානීයක් කරදරයක් නැත්තම් ඒ මිනිහාව මරණ මංචකෙන් ගොඩ ගන්න තිස්ස ගුරා දෙපාරක් එහෙම හිතන්නේ නැතුවා!
"පොඩි හාමුදුරුවනේ මේං මේ තෙල් කුප්පිය උදේ හවා ඔලුවේ ගෑවා නම්... වරු තුනක් යද්දී ඔය හිසේ ඇම්ම අඩු වෙලා යාවී."
එහෙම කිව්ව තිස්ස වෙද මල්ලෙන් පොඩි කුප්පියක් අරන් පොඩි හාමුදුරුවෝ අත තිව්වේ උපදේසෙකුත් දෙන ගමන්...
"හොඳා තිස්ස අයියණ්ඩී... මම එහෙම කරන්නම්."
පොඩි නමත් තිස්ස ගුරාගේ අවවාදය ඉස් මුදුනින් පිළිගත්තේ ආයේ තක්කෙටම හිසේ ඇම්ම සුව වෙන බව දන්න නිසා!
පස්සේ පොඩි නමටත්, ලොකු හාමුදුරුවෝන්ටත් පසඟ පිහිටුවලා වැඳපූ තිස්සත් බණ්ඩාත් පය ඉක්මන් කොලේ ගේ දිහාවට... ඉතිං පැය කාලකින් දෙන්නා හිටියේ පරණ වලව්ව පේන නොපෙනන දුරකින්...
දෙන්නා ගේ දිහාවට යද්දී කඩූල්ල ළඟ නතර කරලා තිබ්බ නුපුරුදු මොරිස් මයිනර් වහානය තිස්ස හොඳහැටි දැක්කාත් නොදැක්කා වගේ කඩුල්ල පැනලා ගෙට ගොඩ වෙද්දී බණ්ඩා එතනම නතර වුණේ කාර් එකෙන් ආව මහත්තයා එහි ආව කාරණාව අහ ගන්න හිතාන.
"තිස්ස මලේ... මේ පොඩ්ඩක් මෙහේ ආවානම්!"
ඒ කියලා බණ්ඩා කඩුල්ල ළඟ ඉඳන්ම කෑ ගහද්දී තිස්ස එළි බැස්සේ කට කොනකට ගත්ත හිනාවක් එක්ක නම්... මිදුලේ හිටගෙන හිටියේ නම් වයස තිස් පහක් පමණ වෙච්ච තරුණයෙක් වෙච්චී!
"කාරණාව මොකක් වුනත් ඔය මහත්තයා දැන් ගියොත් තමා
හොඳ!"
ඇවිත් හිටිය උන්දෑව කිසි ගාණකට නොගෙන තිස්ස එහෙම කතා කලාම කලු මැණිකාත් දොර උළුවස්සෙන් එළියට එබුනේ ආවේ කව්ද කියලා සැක හැර දැනගන්නට!
පුතණ්ඩියා මේ ගොම්මන වැටෙන යාමේ ගෙදරට ගොඩ වෙච්චී එකාව එළවගන්න හදන්නේ ඇයි කියලා නිච්චියටම බලාගන්‍ට..
"මේ ළමයා කව්ද?"
තිස්සට නම් නොරහසක් වෙච්චී ඒත් කලු මැනිකාටත් බණ්ඩාත් රහසක් වෙච්චී මේ තරුණයා කව්ද කියන වග දැනගන්න උවමනාව නිසාම කලු මැණිකා එහෙම ඇහුවාම...
"කිරි අම්මා යන්ට ගෙට... ඔය මහත්තයාත් දැන් ගියොත් තමා හොඳ මගේ යකා කෝප වෙන්නට කලියෙන්!"
තිස්ස ඒක කිව්වේ ආගන්තුක තරුණයාව එතැනම නිහඬ කරළා.
"මලේ ආව කාරණාවවත් අහල හිටියානම්..."
බණ්ඩා අඩු හඬකිබ් මුමුනද්දී...
"අනේ නිකා හිටු අයියණ්ඩී!! මේකාගේ මහා ඒකා මගේ පැළට ඇවිත් අපහස කොරේ බොට... අඩු කුලේ එකාය කියලා! ඒකත් මං ඉස්සරහා වෙද්දී මං ඔය පරම්පරාවේ එකෙක්ටවත් උපකාර නොකරන්න මටම පොරොන්දු දුන්නේ එදාමයි! ආරච්චිලාට ගිහින් කියපන් මේ තිස්ස බෑ කිව්ව කියලා!"
බොහෝම අඩුවෙන් කේන්තී ගන්න තිස්ස ගුරුන්වහන්සේගේ ඇස් එදා නම් රත් උන යකඩේ වගේ රතු පාටයි!
ඒත් තිස්සගේ කතාවෙන් නම් බණ්ඩාත් කළුමැණිකාත් තේරුම් ගත්තා ඇවිත් ඉන්නේ ආරච්චිලාගේ එකම පුත්‍ර රත්නය විදුර මෙවන් කියන්නට! දේශ්ප්‍රිය පරම්පරාවේ උරුමය ගෙනියන්න ඉන්න එකම කොල්ලා... ඒකා කොලොම්පුරේ ඉඳන් ගමේ ඇවිත් සතියට වඩා අඩු කාලයක් ඕං!
ඉතින් තිස්සගේ සද්දේ එක්ක තාමත් මෙවන් නම් නිහඬයි... ඒ නිහඬතාවය බින්දේ කලු මැණිකා වෙද්දී...
"මේ අපේ විදුර කොලුවාද? හපේ හප්පේ දැක්ක කල්! අවුරුදු කීයකින්ද මන්දා... මේං මෙහේ ආවානම්.."
කලු මැණිකා එහෙම කියද්දීත් මෙවන්ට බැලුනේ ඇස් රත ගැහුණ තිස්ස දිහාව...
"මේකා මගේ කට වචනෙට පිටින් යන්නේ නෑ බොල... උඹ බය නොවී මෙහේ වරෙන් කොල්ලෝ, මයේ පැළට ආවම කහට කෝප්පයක් නොදී යවන්නේ නෑ හතුරෙක්ට වුණත්!"
කලු මැණිකා එහෙම කිව්වේ බොහොම ආඩම්බරයෙන්! තමන්ගේ එකම මුණුබුරා තමන් ගේ කට වචනේ පිටින් යන්නේ නෑ කියන්නේ.. ඇරත් ඒකා යක්කූ බැදන් වැඩ ගන්න ජාතියේ එකෙක්! ඉතිං ආඩම්බර වෙන්න ද කරාණා නැත්තේ!
ඉතිං කලු මැණිකාගේ අරාධනයත් එක්ක මෙවන් ඇවිත් ඉස්තෝප්පූවේ තිබ්බ බූරූ ඇදෙන් වාඩී වෙනවාත් එක්කම තිස්ස කලේ ඇදන් උන්නූ සරම කැහැපොට ගහපු එකනම් ඊළඟ මොහොතේ මෙවන් කපා හෙලූ ගහක් වගේ බිමට ඇද වැටුනේ කොන්දත් අල්ලගෙන වෙද්දී තිස්ස නම් කටකොනින් නළ දත පේන්න ඒ දිහාව බලාන හිනා වුනේ සම්ච්චලේට!
"තිස්සයෝ මම උඹහැට කිව්වා නේද! ඕං ඔය කොල්ලාට ඉන්ට දීපන් පාඩූවේ!"
කළු මැණිකා ආඩපාලී කියන ගමන් විලාප දුන්නත් මොකද තිස්සගේ නම් සමච්චල් හිනාවේ අඩුවක් වුනේ නෑ!
ඔය අතරේ මෙවන් නම් උන්නේ තමාව බිමට ඇදලා දැම්මේ මොකාද කියලා හිතා ගන්න බැරුව වෙද්දී... තරමක් දේහ දාරී ශරීරයක් තිබ්බ මෙවන්ව එහෙව් ලේසියකට බිම ඇද දාන්න පුලුවන් අමනුශ්‍යයෙක්ටම පමණක් වෙද්දී මේ සේරෝම දිහාව බලාගෙන උන්නූ බණ්ඩා නම් හිනා වුනේ හැමෝටම පේන්නමයි!
"ඔහේ... නැගිටපන් කොල්ලො"
මෙවන් අසලට ආව කලු මැණිකා මෙවන්ව හුන් තැනින් නැගිට්ටුවේ තිස්ස ඇස් කොනින් ඒ දිහාව බලන් ඉද්දී...
"මේං මේක බීලා හිටිය නම්..."
ඒ කියල උයන ගෙට ගෙහුං ගෙනාව හොඳ කහට කෝප්පයක් එක්ක හකුරු කෑල්ලකුත් මෙවන් අත තිබ්බේ වෙච්ච එව්වා අමතක කොරන්නට වගේ.
"තිස්ස මලේ ඕං ඕක අතඇරලා දාපන්! උං අඩු කුලේ එකාය කිව්වේ මට නොවැ උන් කරන පව් උන් ගෙනියාවී..."
බණඩා ඉස්තෝපූ පඩිය උඩින් වාඩී වෙලා කලු මැණිකා දුන්න තේ පොල් කට්ට අතට ගත්තේ හකුරු කෑල්ල කටේ දමාගෙන සූප්පූ කරන ගමන්...
"ඒක තාමා පොඩි එකෝ ඔය ඔරොප්පුව අත හැරලා දාපන්කෝ දැන්වත්!"
කලු මැණිකා එහෙම කිව්වත් තාමත් තිස්ස නෙවෙයි මෙවන් දිහාව හැරිලාවත් බැලුවේ ආරච්චිලාගේ පුතා වෙච්ච මෙවන් මහත්තයා වුනත් ගුරුන්වහන්සේ ගේ සීතල බැලම යට නිහඬයී! හරියට ගොළු මන්තරයට අහු වෙලා වගේ...
"තිස්ස ගුරුන්වහන්සේ අමනාප නම් බල කරන්න එපා කිරි
අම්මේ මං යන්නම්!"
ඒ කියලා මෙවන් වාඩී වෙලා උන්න බූරූ ඇඳ උඩින් නැගිටින්න උත්සහ කලත් ඒකාගේ පස්ස හරියට ලාටූ ගාලා ඇඳට අලවලා වගේ උන්දෑට නැගිටගන්න බැරි වුනා ඉඳන් උන්නූ තැනින්!
ඒ අස්සේ කෑලෑ ඉස්මත්තේ බල්ලෝ රෑන උඩු බිරුලුවේ එතන උන්නූ තුන්දෙනාගෙම ඇඟේ හිරිකඩු පුප්පන ගමන් වෙච්චී එදා දවසේ තුන් වෙනි වතාවටත් තිස්ස ගුරුන්වහන්සේ ට සම්ච්චලේට හිනාවක් ගියා! ඉතිං ඒ දිහාව බලන් උන්නූ බණ්ඩාට නම් දැනුනේ ඉස්සරහාට වෙන්ට යන්නේ හොඳක් නොවන වගමයි!
"අමනාප වෙන්ට කාරණා තොගේ අප්පච්චීම මට දුන්න එව්වා බොල! උඹ හොඳට හිතට ගනිං මේං මේ කාරණාව..."
ඒ කියලා උගුරේ රැල් බුරුල් කරපූ තිස්ස මෙවන් දිහාවට හැරුණේ බැරෑරුම් බැල්මකුත් මුහුණෙ රඳවගෙන,
"අද ඉඳන් හත් දොහක් යන්නට පෙර බොගේ මහා එකා ආරච්චිලගේ කොන්දෙන් පහල පන නැති වෙනවා සත්තයි! ඒකාන්තයී! එතනින් එහාවට තුන් පෝයක් පිරෙද්දී උන්දෑගේ ආයූ කෙරෙවෙල වෙන්නට නියමිතයි... වෙන්නට යන දේ වලක්ව ගන්න ඕනේ නම් ආරච්ච්ලාට කියහන්, මයේ පැළට ඇවිත් මේං මේ මගේ අයියණ්ඩියගෙන් සමාව ගන්නයැ කියාලා! එහෙම නැතිනම් බොගේ අප්පච්චී ගේ ජීවතය ගැන මට කිසිම කැක්කුමක් නැතුවා! මේ තිස්ස ගුරුන්වහන්සේ දෙයක් කිව්වොත් ඒක වෙනස් කරන එකෙක් නොවෙන බව ඔය මහත්තයා හොඳහැටි දන්නවා ඇති නේ!"
ඒ කියලා තිස්ස ගුරුන්වහන්සේ කැපොට ගහපූ සරම ආයේම ලිහලා පහළට දැම්මාම තමා මෙවන්ට ඉඳන් උන්නූ තැනින් නැගිටින්න පුලුවන් වුනේ... ඉතින් ඒකා නිහඬවම කිරි අම්මාට වැඳලා එළි පත්තට බැස්සේ බණ්ඩා අයියාටත් හිනාවකින් සංග්‍රහ කරලා උනත් තිස්ස දිහාවනම් නොබැලුවේ ඒ සීතල බැල්ම දරා ගන්න බැරි නිසාමයි!
තිස්ස හොඳ කහට එකටට වග කියන අතරේ කලු මැණිකාත් බණ්ඩා අයියාත් ඉස්තෝප්පුවට වෙලා බලන් උන්නේ කාර් එක පනගන්වගෙන දෙවැට දිගේ නොපෙනී යන මෙවන් දිහාව...
"අනේ තිස්සයෝ ඒ දරුවා ඒ දවස් වල උඹ එක්ක එකට ඇළ දොළ වල කරක් ගැහුව සෙල්ලම් කරපු එකා නේද? එහෙව් එකාට පුරස්නයක් ආවම ඔහොම කරලා හොඳද?"
කලු මැණිකා මෙවන් ගැන විස්සෝප වුනේ කම්මුලේත් අත ගහගෙන...
"පුරස්නේ තියෙන්නේ ඒකාට නොවෙයි කිරි අම්මේ ඕකගේ මහ එකාට! ඒකා ඇවිත් මගේ අයියණ්ඩී ගෙන් සමව ගන්න තෙක් මගෙන් උදව්වක් උපකාරයක් ඒකාට නොවේවී!"
තිස්ස එහෙම තමන්ගේ අවසන් තීන්දුව දුන්නේ පූජා කාමරය පැත්තට අඩිය තියන ගමන්.
මතු සම්බන්දයි...