Eternal ascension- සදාතන ආරෝහණය

All Rights Reserved ©

Summary

දසවන වියේ දී සිදුවූ අහම්බයක් හේතුවෙන්, රුඕ යී ට ලින්ග්‍යුන් විද්‍යාලයේ සිසුවෙකු ලෙස ධ්‍යානවේදී ලෝකයේ දොරටු විවර වෙයි. එතැන් සිට ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වෙමින් ගලා යයි. මුහුණදීමට සිදුවන නොයෙක් කරදර කම්කටොලු මැද ඔහුට සිය අනන්‍යතාව රකිමින් ඉදිරියට ගමන් කිරීමට හැකිවෙයිද... සියල්ලටත් වඩා, තාරුණ්‍යයේ හැඟීම් අවදිවෙමින් පවතින යුගයක, හදවත හෝ ලෝකය බේරාගැනීම යන දෙකෙන්, රුඕ යී ගේ තේරීම කුමක් වනු ඇතිද... මේ ඔහුගේ කතාවයි...

Genre
Fantasy
Author
ClaraHope
Status
Ongoing
Chapters
11
Rating
n/a
Age Rating
16+

පරිච්ඡේදය- 01

චින්හන් කඳුවැටියේ ⁣යෝධ සෙවනැල්ලෙන් වැසීගත් කෙළවරක් නොපෙනෙන හරිත නිම්නය නිහැඩියාව තුළ ගිලී පැවතියේය. වළාකුළු වලින් ගහන අහස පුරා වචනයෙන් විස්තර කළ නොහැකි ගුප්ත බවක් පැතිරී යමින් තිබුණි. තවමත් හිරු රැස් පොළවට පතිත නොවූ නමුත් උදා සීතල වියැකී යමින් තිබූ මොහොතක, යන්තමින් මීදුම පහවෙමින් තිබූ කුඩා ගම්මානය කඩිසර හා ජවසම්පන්න මිමිණුම් හඬවලින් පිරී යන්නට විය.

හැන් ගම්මානය, කුඩා පවුල් විසි ගණනක එකතුවක් වූ අතර, සිය ගණනක් වූ ගම්වැසියන් අතරට කුඩා දරුවන්, ජවසම්පන්න තරුණ පිරිස්, මැදිවියට පත්වූවන් හා වියපත් මහල්ලන් යන සියළු කොට්ඨාස ඇතුළත් වූහ. ගම්පති තැන, වෙදැදුරු හා තවත් සුළුතරයක් හැරුණුකොට ඔවුන් අතරින් බොහෝ දෙනෙකු දරිද්‍ර හා කටුක ජීවිතයකට හිමිකම් කියූහ. චින්හන් කඳුවැටිය පාමුල පිහිටි හෙයින් හැන් ගම්වාසීන් නිතරම භූමිකම්පා හා පස් කඩාවැටීම් වලින් පීඩා වින්දෝය. කළුගල් පිරුණු පොළොව බෝග වගාව සඳහා එතරම් සුදුසු නොවූ හෙයින් බොහෝ දෙනා ජීවිකාව ගෙන ගියේ සතුන් ඇතිකිරීමෙන් හා අසල වනාන්තරයේ දඩයම් කිරීමෙනි. රාක්ෂයන් හා අවතාර ගැවසෙතැයි බිය වූ ගම්මුන් අතරින් වනාන්තරයට ඇතුළුවීමට නිර්භීත වූයේ ඉතා සුළු පිරිසකි.

රුඕ යී ගේ පියා මේ නිර්භීත සුළුතරය අතරින් එක් අයෙකු විය. දර කපන්නෙකු වූ හෙතෙම නිතර නිතර වනාන්තරය⁣ට ගොස් පළපුරුදුකම් ඇත්තෙකු විය. කුඩාකළ පටන්ම සිය පියා සමඟ ගමන් කළ දස හැවිරිදි රුඕ යී සමවයස් දරුවන් අතර වීරයෙකුගේ මට්ටමින් සැලකිණි.

එහෙත්... ඔහු වීරයෙකු සේ සැලකුණේ අසල්වැසි දිළිඳු දරුවන් අතර පමණකි. යමක් කමක් ඇති පවුල්වල දරුවන් ඔහුව දුටුවේ 'වැඩකට නැති දර කපන්නෙකුගේ පුතෙකු' ලෙස ය. ඔවුන්ගේ මතය වූයේ කිලිටි වැරහැලි ඇඳුමින් සැරසුණු රුඕ යී හා ඔහුගේ මිතුරන් අඩු තරමින් තමන්ට පෙනෙන මානයක හෝ සිටීමට නුසුදුසු බවයි. ගම්පති පුත්‍රයා වූ කොං මාඕ, රුඕ යී ඇතුළු දරුවන්ට නිරතුරුවම අඩන්තේට්ටම් සිදු කළේ ය. එහෙත් එවන් අවස්ථාවල කිසිවක් නොපවසා නිහඬව පසුබැසීමට තරම් මේ 'වැඩකට නැති' දරුවන්ට නුවණක් තිබිණි.

දර කපන්නකුගේ බිරියක් වුවද, රුඕ යී ගේ මව කියවීමට ලිවීමට හැකියාව ඇති තැනැත්තියක වූවාය. නගරයේ පොහොසත් පවුලක ආර්යාවකට බැළමෙහෙ කර තිබූ ඈ, සිය පුතුට හැකි පමණින් අකුරු කියාදී තිබුණි. ඇගේ මරණය රුඕ යීට විශාල පහරක් විය. එයින් පසු පිය පුතු දෙපළ අතර වූ බැඳීම පවා මඳක් දුරස් වූවා සේය. එහෙත් පියා ඔහුට හැකි උපරිමයෙන්ම රුඕ යී හදාවඩා ගැනීමට යත්න දැරුවේය. සැබැවින්ම, මේ තාක් කාලයක් ඔවුන්ගේ ජීවිත සාමකාමී හා නිසලව ගලා යමින් පැවතිණි.

එහෙත් එක් දිනක... ඉතා සාමාන්‍ය ලෙස ආරම්භ වූ දිනක... සියල්ල කණපිට පෙරළිණි.

එය ආරම්භ වන විට, සිරිත් පරිදි, රුඕ යී තම සගයන් සමඟ කඳුවැටිය පිටුපස ගල්ගුහා සංකීර්ණයේ ක්‍රීඩා කරමින් සිටියේය. ඔවුන් සියල්ලන්ගේම අවධානය තදින් ක්‍රීඩාවට යොමු වී තිබුණි.

"රුඕ යී! රුඕ යී!!" ⁣ සෙස්සන් හඬතැලූහ. "ඔබයි මේ වාරයේ අපිව සොයන්නේ!"

"හොඳයි." මඳ සිනාවක් නැඟූ රුඕ යී ආපසු හැරුණේ ය. "අඩ හෝරාවකින් මම ඔබව සොයාගන්නවා. ඊට පෙර සැඟවෙන්න!"

හේ සෙස්සන්ට පිටුපා තදින් දෑස් පියාගත්තේය. අවට ගහකොළ සුළඟට සර සර ගාන හඬත්, සිය මිතුරන් සැඟවෙන්නට තනමින් එහා මෙහා දුවන විට නැගෙන පියවර හඬටත් කන් දුන්නේ ය. වරෙක ඇඟ ලොමුදැහැගන්වමින් වටපිටාව කම්පනය වන බවට හැඟීමක් ඇති වුවත් ඔහු එය එතරම් ගණනකට ගත්තේ නැත. සුළු වේලාවකින් පියවර හඬ තවදුරටත් නෑසී ගියෙන් රුඕ යී දෑස් විවර කර ආපසු හැරුණේ ය.

කුණාටුවක පෙරනිමිති කියාපාමින් බටහිර ආකාශය අඳුරු වළාකුළින් බර වී ගොස් තිබිණි. වසරේ මේ කාලය තුළ කුණාටුවක් යනු කිස්සේත් බලාපොරොත්තු විය හැක්කක් නොවේ. එය නරක පෙරනිමිත්තක් ලෙස රුඕ යීගේ සිතට නැඟුණේය. ⁣යම් හෙයකින් කුණාටුවට පෙර ඔහුට මිතුරන් එකතු කරගැනීමට නොහැකි වුවහොත්, ඔවුන් නොදැනුවත්වම ඊට හසුවීමට පුළුවන.

'ඔවුන් හැමෝම හැංගෙන්න ගුහාව ඇතුළට ගිහින් තිබුණොත් හොඳයි.'

රුඕ යී තමාටම කියාගත්තේ ය. දළ වශයෙන් වටපිටාව පිරික්සූ හෙතෙම එහි වූ ගල් ගුහාවට පිවිසියේ මිතුරන් එහි සැඟවී ඇතැයි යන අනුමානයත් සමඟිනි.

මෙකී ගල් ගුහාව වූකලී ස්වාභාවික දෝනා කිහිපයකින් සැදුම්ලත් භූගත කුටි සමූහයක් විය. ඇතැම් දෝනා ඉතා දිගු හා ගැඹුරු වූ අතර ඒවා අන්ධකාරයෙන් පිරී තිබුණි. ළමුන් සැඟවීමට පාවිච්චි කළේ එහි දොරටුවට ආසන්නයෙන් පිහිටි ගුහා කිහිපයක් පමණි. රුඕ යී ඒවා පිරික්සා බැලූ නමුත් ඔහුට කිසිවෙකු සොයාගැනීමට හැකි නොවීය.

මිතුරන් සැඟවීමට ඉඩ ඇතැයි සැකකළ අවසන් ගුහාවත් පිරික්සූ ඔහු, කිසිවෙකුත් හමු නොවූ හෙයින් ගුහාවෙන් පිටවන්නට තීරණය කළේය. එක් වරම, ගුහාව කම්පනය වන බව ඔහුට වැටහී ගියේ ය.

'භූමිකම්පාවක්!' හෙතෙම කල්පනා කළේ ය. ගුහා බිත්ති දෙදරුම් කන හඬ ඔහුට ඇසුණි. යම්කිසි තියුණු හඬක දෝංකාරය ඔහුගේ සවන්පත් වෙත ගලා ආයේ ය. ඈතින් තිබූ අඳුරු දෝනාවක් තුළින් හදිසියේ ආලෝක ධාරාවක් ඇතිවී නිවී යද්දී රුඕ යී අහම්බෙන් එය දුටුවේ ය. ඇඟ කිලිපොලා යන හැඟීමක් ඔහුට දැනී ගියත්, ඒ ආලෝකය සැබැවින්ම ඇති වූවක්ද, නැතහොත් සිය සිතෙහි ඇතිවූ මායාවක්ද යන්න ඔහුට විශ්වාසයක් නොවීය.

කුහුලින් පිරි දරුවා නැවතත් ඒ දෙස මඳ වේලාවක් බලා සිටියේ ය. ගුහාව යළිත් දෙදරීමකට ලක් කරමින් ළා රත් පැහැයට හුරු එකී ආලෝකය නැවත වරක් ඔහුගේ දෑස් ඉදිරිපිට ඇඳී යද්දී, එය නිකුත් වන්නේ දෝනාව තුළ වූ යම් වස්තුවකින් බව ඔහු වටහාගත්තේ ය. පෙනෙන අන්දමට නම් ගුහාව දෙදරුම් කෑම ආරම්භ වන්නේද එතැනිනි.

මඳක් පැකිළෙමින් වුවද රුඕ යී එදෙසට පියවර මැන්නේ ය. ඔහු ඒ සමීපයට යත්ම, එදෙසින් නැගෙන හඬ තදින් හා තියුණු ලෙස ඔහුගේ සවන වැකිණි. එය වඩාත් සමාන වූයේ යමෙකු විසින් වියරුවෙන් නඟන හඬකට ය. වඩාත් සමීපයට ළංවූ හේ, තමා ඉදිරියේ වූ ත්‍රාසජනක සිදුවීම දෙස බලා සිටියේ ය.

එය කිසිසේත් ම දුප්පත් ගම්බද දරුවෙකුට ලෙහෙසියෙන් දැකීමට නොලැබෙන අන්දමේ දසුනකි!

වර්ණවත් ආලෝක ධාරාවන් හා ඇසට පෙනෙන නොපෙනෙන තරම් වූ බල ධාරාවන් එකිනෙකා වෙත එල්ලකරමින් දෙදෙනෙකු එහි සටන් කරමින් සිටියහ!

එයින් එක් අයෙකු පැහැදිලිවම 'මනුශ්‍යයෙකු' ගේ ගති ලක්ෂණ උල්ලංඝනය කළේ ය. කාල වර්ණ දිගු කබායකින් සැරසී සිටි එම තැනැත්තා වයා අඳුරු මීදුමක් වැනි යමක් විසිරී තිබුණි. ඔහු අත හෙල්ලයක් තිබූ අතර, ඔහුගේ චලනයන් කුඩා දරුවාට දැකගත නොහැකි තරම් වේගවත් විය. ඔහුගේ හිස කළු වැස්මකින් වැසී තිබුණි. එහෙයින් ඔහුගේ මුහුණ කෙබඳු එකක් දැයි රුඕ යීට දැකගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

සටන් කරමින් සිටි අනෙකා මනුශ්‍යයෙකු බව බැලූ බැල්මටම වටහාගත හැකි විය. ඔහු වියපත් අයෙකු බවත්, සටනින් දුර්වලව සිටි බවත් රුඕ යී සැනෙන් වටහා ගත්තේ ය. ඔහුගේ සිරුරින් රුධිරය ගලා යමින් තිබුණද, ඔහු තවමත් අමනුෂ්‍යයාට එරෙහිව සටන් කරමින් සිටියේය. මේ මිනිසා ධ්‍යානවේදියෙකු ⁣විය යුතු යැයි රුඕ යී කල්පනා කළේ ය.

හැන් ගම්මානයේ ගම්මුන්ට, ධ්‍යානවේදීන් ගැන අසන්නට ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. ධ්‍යාන වඩන්නට හැකියාව ඇති කිසිවෙකුත් ගම්මානයේ නොසිටියහ. චින්කන් කඳුවැටියේ ධ්‍යානවේදීන් පිරිසක් ඇතැයි රුඕ යී අසා තිබූ නමුත්, ඔහු මේ වනතුරුම එයින් එක් අයෙකු හෝ දැක නොතිබුණි.

සටන ඉතා බලවත් හා බියකරු එකක් විය. එහෙත් රුඕ යීට, එතැනින් සෙළවීමට හෝ හැකියාවක් තිබුණේ නැත. ඔහු විසින් කරන කුඩා සෙලවීම පවා සටන් කරන දෙදෙනාගේ අවධානයට ලක් වීමට ඉඩ තිබේ. ඇඟ ලොමුදැහැගැන්වී, බියෙන් ඇකිළෙමින් හේ ස්වකීය මුව අතකින් වසාගෙන සිටියේ හඬ පිටවීම වැලැක්වීමට ය. බලය පිරුණු රැස් ධාරාවක් ගුහා බිත්ති දෙදරවමින් ගමන් කළ සෑම වතාවකම, සිය දෙකකුල් වෙව්ලා යන අන්දම ඔහුට දැනුනි.

හදිසියේම, ප්‍රබල පහරක් වැදුණු ධ්‍යානවේදියා පසුපසට විසිවී ගොස් ගුහා බිත්තියක හැපී ඇද වැටුණේ ය. ඔහුගේ මුවින් උණුසුම් රුධිරය ගලා හැලිණි.

"නුඹ දුර්වලයි!" කොඳුනාරටිය සීතල කරවන හඬකින් අමනුෂ්‍යයා ගෙරෙව්වේ ය. "කෝ නුඹේ මහ ලොකු හැකියාවන්?"

මිනිසා මුවින් නොබැණ නැගී සිටියේ ය. ඔහු අතිශයින්ම දුර්වල බව රුඕ යී දුටුවේ ය. එහෙත් තවමත්, මිනිසාට ස්වකීය දෙකකුල් වලින් සිටගැනීමට තරම් ශක්තියක් පැවැතිණි.

"මා මිය ගියත් නුඹට සාර්ථක වීමට ඉඩ තබන්නේ නැහැ!"

ඊට පිළිතුරු වශයෙන් අමනුෂ්‍යයාගේ මුවින් පිටවූයේ කුරිරු සිනාවකි. එසැනින් තම ශක්තිය නැවත එක් කරගත් ධ්‍යානවේදියා වේගවත් හා බලසම්පන්න බලධාරාවක් අමනුෂ්‍යයාගේ පපුවට එල්ල කළේය. ඒ පහරින්, ඔහුගේ හිස වැසී තිබූ කාලවර්ණ ආවරණය ගැලැවී බිමට වැටිණි.

අමනුෂ්‍යයාගේ මුහුණ නිරාවරණය වූයේ, රුඕ යීගේ මුවින් විලාපයක් නඟන්නට සලස්වමිනි.

එය මුහුණක් යැයි කීවද කිසිසේත්ම එවැන්නක් මෙන් නොවීය. දෑස්වල සුදු ඉංගිරියාවක් ⁣නොතිබූ අතර, දෑස් තිබිය යුතු තැන්වල අඳුරු කළුවන් කුහර දෙකක් පමණක් පිහිටියේය. නාසය වෙනුවට, වෘකයකුගේ හොම්බක් වැනි යමක් තිබිණි. ඔහුගේ සිරුරින් නික්මුණු කාලවර්ණ ධූමය, ගෙන්දගම් ගන්ධයකින් යුක්ත විය.

රුඕ යී ගේ හඬ, සටන් කරමින් සිටි දෙදෙනාගේ අවධානය දිනාගති. අමනුෂ්‍යයාගේ එක් පහරකින්, ඔහු සැඟවී සිටි ගල් පොත්ත සුණු විසුණු වී යාමට මොහොතකට පෙර එතැනින් ඉවතට පැනගැනීමට රුඕ යී සමත් වූයේය.

මිහිමතට ඇදවැටුණු රුඕ යීට, දැඩි ග්‍රහණයක් ඔහුගේ සිරුර වටා වෙලෙන බව වැටහී ගියේ ය. අඳුරු ධූමිකාව, ඔහුව වෙලාගනිමින් ඉහළට ඔසොවමින් තිබිණ.

"ආහ්ග්!"

ඔහුගේ සිරුර දරදඬු ⁣විය. දුමාරයක් වුවද එය ඉතා ශක්තිමත් වූ අතර, ඇටක⁣ටු පොඩි වන තරමට කිටි කිටියේ තද වෙමින් සිටි ඔහුගේ හුස්ම පවා හිරවෙමින් තිබුණි.

තමා අමනුෂ්‍යයාගේ ග්‍රහණයට හසුවූ බව වැටහී ගිය නමුත් රුඕ යීට බියපත් වීමට පවා සිහියක් නොවීය. මෝහනය වූ බැල්මෙන් හෙතෙම තම ග්‍රාහකයා දෙසම බලා සිටියේ ය.

මේ මොහොතේ ධ්‍යානවේදියා යළි ක්‍රියාත්මක වූයේ ය. හේ දෑතින් ශිල්පකර්මයක් යොදමින් රුඕ යීගේ සිරුරේ එතුණු අඳුරු දුමාරය කපා දමමින්ම ඉදිරියට පැන දරුවා ව වහා අල්ලා ගත්තේ ය.

"අහ්!"

වාරු නැතිව ගිය රුඕ යී ඇද වැටුණේ ය. හේ පියවි සිහියට පැමිණෙන විටම නෙත ගැටුණේ ඔහුත්, ධ්‍යානවේදියාත් වසාගෙන පැතිරුණු නිල් පැහැ ආරක්ෂක වළල්ලකි.

"ඔබ හොඳින්ද දරුවා?"

රුඕ යී හිස සැළුවේ ය. ඔහුට කතා කරගන්නට තරම් ශක්තියක් නොවීය.

"කු... කු... කුමක් - කවුරුන්ද-"

ධ්‍යානවේදියා එක්වරම කැස්සක් සමඟ මුවින් රුධිරය පිට කළේය. රුඕ යී බියපත්ව දෑස් විසල් කළේ ය.

"යා..ර්හ්!"

නීලවර්ණ ආවරණයෙන් පිටත, අමනුෂ්‍යයා එය බිඳ දමන්නට තැත් කරමින් සිටියේ ය. දැනටමත්, එය පුපුරා ඉරිතලා ගොසිනි.

ධ්‍යානවේදියා හදිසියේම රුඕ යී ගේ අතින් අල්ලා ගත්තේ ය.

"දරුවා, මේ ආවරණය බිඳුණු ගමන්, ඔබ පැමිණි ම⁣ඟේම ආපසු දිව ගොස් සැඟවෙන්න. මම-"

ආවරණය හදිසියේ බිඳ වැටිණි.

අමනුෂ්‍යයාගේ මීළඟ පහරින් ධ්‍යානවේදියා ඉවතට විසි වී ගියේ ය. කිසිදු සහයක් රහිතව, රුඕ යී සෘජුවම ඔහුට නිරාවරණය වී තිබිණි.

"පහත් මනුශ්‍යයෙකුට කෙසේද මගේ ගමනට බාධා කරන්නට තරම් හයියක්!" ඔහු ගිගුරුවේය. වැටී සිටි අන්දමින්ම තමා ගල් වී ඇතැයි රුඕ යීට සිතිනි.

මීළඟ ප්‍රහාරය තමා වෙත එල්ල වන මොහොතේ දෑතින් මුහුණ හරස් කරගන්නා මොහාතේ සිය පපුව දෙසින් ඇදී ගිය රන්වන් පැහැති ආලෝක ධාරාවක් අවසිහියෙන් මෙන් ඔහුගේ නෙත ගැටෙද්දී හෙතෙම දෑස් පියාගත්තේ ය.

එම පහරින් බලාපොරොත්තු වූ වේදනාව ඔහුට දැනුනේ නැත. නැතහොත්, එකී ප්‍රහාරය කිසිසේත්ම ඔහුට වැදුණේ නැත.

හේ කෙමෙන් කෙමෙන් දෑස් විවර කළේ ය.

ගුහාවම බබළවන ආලෝකයකින් යුක්ත රන්වන් අසිපතක්, අමනුෂ්‍යයාගේ ප්‍රහාරය රඳවාගනිමින් අවකාශය තුළ රැඳී තිබිණි. එය සම්පූර්ණයෙන්ම පාහේ පාරදෘශ්‍ය වූ අතර, භෞතික නොවන පෙනුමක් එහි විය. අසිපතේ සෑම කොටසක්ම දිදුලන රන්වන් දීප්තියකින් ආලෝකමත් විය. එම අසිපත කිසිදු ලෝහයකින් තැනුණු බවක් නොපෙනෙණි.

එය ධ්‍යානවේදියාගේ යම් ශිල්ප ක්‍රමයක් යැයි කල්පනා කළ රුඕ යී ඔහු දෙස බැලීය.

"ඔබද..."

එහෙත් පුදුමයකට මෙන් ඔහුද තමා මෙන්ම වික්ෂිප්ත වී සිටින අයුරු හේ දිටීය.

අමනුෂ්‍යයා ද ඔවුන් දෙදෙනාටම වඩා අවුල්සහගත පෙනුමකින් යුක්ත විය.

"මේ කුමක්ද?" ඔහු බෙරිහන් දුන්නේ ය. රුඕ යී කිසිවක් සිතාගැනීමට පෙර, අසිපත විසින් බලගතු ආලෝකයක් නිකුත් කරමින් අමනුෂ්‍යයාව පුපුරුවා හරින ලදි.

සිදුවූ දේ අදහාගත නොහැකිව රුඕ යී ගල්ගැසුණේය. තවත් මොහොතක් හිස් අවකාශය තුළ රැඳී තිබූ අසිපත, එක්වරම පාවී අවුත් ඔහුගේ ඉදිරියේ ළය මට්ටමින් නතර විය. අනතුරුව, ඔහු එය වලක්වාගැනීමට හෝ තේරුම්ගැනීමට පෙර, අසිපත සිහින් දුමාරයකට හැරී ඔහුගේ ළය හරහා සිරුරට වැදුණේ ය.

රුඕ යීට කිසිදු වේදනාවක් දැණුනේ නැත.

ඔහුගේ ළය සිදුරු වී ගියේ හෝ මුවින් රුධිරය වැගිරුණේ හෝ නැත.

ඔහුව පුපුරා ගියේ ද නැත.

කොටින්ම කිවහොත්, එවැන්නක් සිදු වූවාද යන්න හෝ ඔහුට නිශ්චිත නොවීය. ඇතැම්විට, බිය හා නොසන්සුන්කම නිසා එය ඔහුගේ සිතේ මවාගත් දෙයක් වීමටද පුළුවන. දීප්තිමත් රන් අසිපතක් ඔහුගේ ඇතැම් රාත්‍රී සිහිනවල දුටු බවට රුඕ යී තුළ මතකයක් විය.

ධ්‍යානවේදියා යළි කැස්සේ ය. රුඕ යීගේ සිතිවිලි මාලාව බිඳී ගියේය.

"ඔබ හොඳින්ද?"

එහෙත් ධ්‍යානවේදියා ඊට ප්‍රතිචාර දැක්වූයේ තවත් පැනයකිනි.

"ඔබ කවුරුන්ද?"

"මගේ නම රුඕ යී. මම හැන් ගමෙන්."

"රුඕ යී?"

"එහෙමයි."

ධ්‍යානවේදියා සෙමෙන් ඔහුගේ ⁣අතේ මැණික් කටුව ස්පර්ශ කළේ ය.

"ඔබතුමා හොඳින්ද?" රුඕ යී විමසුවේය. "ඔබ ධ්‍යානවේදියෙක් නේද?"

ඊට පිළිතරක් නොදුන් හෙතෙම රුඕ යී ගේ දකුණු අත්ල දිගහැර තම අත්ල ඒ මතින් තැබුවේය. තවත් මොහොතකින්, ඔහුගේ අත්ල හරහා ගමන් කළ අග්නි වර්ණ අලෝකයක් රුඕ යී ගේ අත්ල කරා ළඟා විය. සිහින් උණුසුමක් රුඕ යීගේ අත්ල හරහා ඇදී ගොස් සිරුර පුරා පැතිරිණි.

ක්‍රියාවලිය අවසානයේදී වැඩිහිටියා නැවත වරක් රුධිරය වගුරුවමින් කැස්සේ ය.

"මේ කුමක්ද?"

"එය... හඳුන්වන්නේ ෆීනික්ස් ගිණිසිළ ලෙසයි: මෙතෙක් එය මා රැකගත්තා. දැන්, ඔබ එය ප්‍රවේශම් කරගත යුතුයි..."

"නමුත්, ප්‍රවේශම් කරගත යුත්තේ කාගෙන්ද?"

"රුඕ යී, මෙය ඔබට මගෙන් ලැබෙන අවවාදයක්. මෙය අද මා ඔබට දුන් බව දැනගත යුත්තේ ඔබත් මමත් පමණයි!"

හෙතෙම රුඕ යීගේ දෑතින් තරයේ අල්ලාගත්තේ ය.

"එය කුමක්දැයි ඔබට වටහා ගැනීමට අවශ්‍ය නම්, ලින්ග්‍යුන් විද්‍යාලයේ සිසුවෙකු වන්න."

"කුමක්ද ලින්ග්‍යුන් විද්‍යාලය යන්නෙන් ඔබ අදහස් කරන්නේ?"

"එය ධ්‍යානවේදී පාසලක්. චින්හන් කඳුවැටිය මුදුනේ පිහිටා ති⁣බෙන්නේ."

"නමුත්... නමුත්..."

"නමුත් කුමක්ද?"

රුඕ යී අපහසුවෙන් මෙන් හඬ නැඟුවේය. "මා ධ්‍යානවේදියෙකු නොවේ. මගේ පියා දර කපන්නෙක්."

වැඩිහිටියා මඳ වේලාවක් රුඕ යී ගේ මුහුණ දෙස බලා සිට්යේ ය.

"උත්සාහ කළොත් ඔබට ධ්‍යානවේදය වඩන්නට පුළුවන්. කෙසේ හෝ ඔබ ලින්ග්‍යුන් විදුහලට ඇතුළත් විය යුතුමයි. වැටහුණාද?"

"එහෙමයි... නමුත් මම... මගේ පියා-"

"දැන් සුළු මොහොතකට පෙර විනාශ වුණු රාක්ෂයාව ඔබට අමතක වුණාද? එවන් රාක්ෂයන්, අසුරයන් දහස් ගණනක් සිටිනවා. ඔබට ඔවුන්ගෙන් ගැලවී සිටීමට ඇති එකම මාර්ගය ධ්‍යානවේදය වැඩීමයි. දැන් ඔබට ඇති එකම ආරක්ෂිත ස්ථානය ලින්ග්‍යුන් විදුහල පමණයි!"

රුඕ යී තවදුරටත් අඩමානයෙන් බලා සිටියේ ය. "එහෙත්-"

"ඔබේ සිරුර තුළට ගිය අසිපත නැවත ඉවතට ගැනීමට නම් ඔබට ධ්‍යානවේදය වැඩීමට සිදුවෙනවා!"

වැඩිහිටි ධ්‍යානවේදියාගේ ප්‍රකාශය නිසා රුඕ යී තිගැස්සුණේය.

"එය මගේ සිරුර තුළ ද?"

"ඔව්, නමුත් ඒ පිළිබඳව කිසිවෙකුටත් කියන්න එපා. එය සිරුරෙන් ඉවතට ගැනීමට හැකියාව ලැබෙන තුරු කිසිවෙකුටත් ඒ ගැන දැනගන්නට දෙන්න එපා. පාසලේ රැඳී සිටිමින් ධ්‍යානවේදය ප්‍රගුණ කරන්න. එසේ කරන බවට ඔබ මට පොරොන්දු වෙනවාද?"

"මම- මට..." රුඕ යී මදක් පැකිළුණේ ය.

"නියම මිනිසෙකු ලෙස මට ඔබේ වචනය දෙන්න!"

"මම, රුඕ යී, ලින්ග්‍යුන් විද්‍යාලයට ගොස් ධ්‍යානවේදය ප්‍රගුණ කරන බවට මගේ පොරොන්දුව ඔබට දෙනවා. මගේ පරම්පරාවේ මුතුන්මිත්තන් නමින් මම දිවුරනවා!"

තෘප්තිමත් සිනාවක් ධ්‍යානවේදියාගේ උවනතෙහි ඇඳී ගියේය. හෙතෙම රුඕ යී ගේ දෑතින් අල්ලාගත්තේ ය.

"රුඕ යී - මෙයින් ඉදිරියට, ඔබට කුමන අන්දමේ සිදුවීම් වලට මුහුණ දීමට සිදුවුණත්, ස්වර්ගය දක්වාම ඔබ ඉදිරියට යා යුතුයි. ඔබ ඉදිරියේ ශ්‍රේෂ්ඨ අනාගතයක් තිබෙනවා. යම් දිනෙක, ඔය අසිපතේ සැබෑ ස්වරූපය දකින්නට ඔබ උත්සාහ කළ යුතුමයි. වැටහුණාද?"

පුදුමය හා කුතුහලය සම්මිශ්‍රණය වූ බැල්මකින් රුඕ යී වැඩිහිටියා දෙස බලා සිටියේ ය. මේ කතාබහෙන් ඔහුට තේරුම් ගිය එකම දේ, තමා කෙසේ හෝ ලින්ග්‍යුන් විද්‍යාලයට ඇතුල් වී ධ්‍යානවේදය ඉගෙන ගත යුතු බව පමණි. එහෙත් අඩු තරමින් ඔහු මේ වැඩිහිටියා කවුරුන්ද යන්න හෝ දැන සිටියේ නැත.


"මට ඔබේ නම දැනගන්නට හැකිද?"


වැඩිහිටියා යන්තමින් සිනාසුණේය. "ඔබ මගේ උපදෙස් පිළිපදින්නේ නම් මා කවුරුන්දැයි අනාග⁣තයේදී සොයාගනීවි."


අනතුරුව, තවමත් වික්ෂිප්ත බවින් මිදීමට අපොහොසත් වූ රුඕ යී අඳුරු ගුහාවේ තනිකර දමමින් හෙතෙම එක්වරම අතුරුදහන් වී ගියේය.