Chapter 1
සාමකාමීව ගෙවුණු කාලයක් ඉවර වෙලා යන්න පටන්ගත්තේ එලයිසාගේ රතුපාට ස්ටොකිංග්ස් දෙක හදිසියේම වගේ පිට්ටනියේ තියෙන පොකුනේ ගිලිලා සියදිවි නහගන්න තීරණය කරපු එකෙන්.
අඩුගානේ මැක්ස් කියන විදිහට දවස පටන්ගත්තේ එහෙමයි.
මුලදී, ස්ටොකිංග්ස් වලට වෙච්ච දෙයක් අපි කාටවත් හිතාගන්න බැරි වුණත්, පහුවෙනිදා උදේ පාන්දරම පොකුණේ පාවෙමින් තිබුණු රතුපාට රෙදි කෑල්ල එලයිසාගේ කියලා හොයාගන්න ලැබුණාම, මැක්ස් නම් කිව්වේ එලයිසා එක්ක ඉන්න බැරිව ස්ටොකිංග්ස් දෙක පොකුණට පනින්න ඇති කියලයි.
ඒක ගන්න ගිහින් එලයිසාව ලිස්සලා ගිහින් පොකුණට වැටුණේ, පතුලේ තිබුණු බෙරිහන් දෙන හයිඩ්‍රිල්ලා පැලයක් ආදරෙන් ඇවිත් එයාගේ කකුල බදාගනිපු අතරෙයි.
ඇත්තටම ඉස්සර නම් මේ පොකුණේ බෙරිහන් දෙන හයිඩ්‍රිල්ලා තියා නිකං ජලජ පැලෑටියක්වත් තිබුණේ නෑ. ඒත් හදිසියේම ප්‍රධාන ශාලාවේ තියෙන මාලු ටැංකියට වැරදිලා වැටුණු මොකක්දෝ දියරයක් නිසා ඒවා හදිසියේම විශ සහිත- විලාප දෙන හයිඩ්‍රිල්ලා පැළ බවට පත්වුණා. අන්තිමට කනක් ඇහිලා ඉන්න ඕනේ හින්දා ඒ පැළ ටික අරන් ඇවිත් පොකුණේ පතුලටම දාන්න කියලා චැන්ඩ්ලර් අණ දුන්නා.
ඔනික්ස්වල ප්‍රධානියා වුණේ ලෝඩ් චැන්ඩ්ලර්. ලෝඩ් කියලා කිව්වේ එයා එංගලන්තයේ වංශාධිපති පවුලකින් පැවතෙන කෙනෙක් නිසා. ඒ වගේම එයාගේ පරම්පරාව කවුන්ට් ඩ්‍රැකියුලාගේ පෙළපතටත් සම්බන්ධයක් තියෙනවා කියලා කනින් කොනින් මම අහලා තිබුණත්, චැන්ඩ්ලර්ට නම් වැම්පයර් ජාන කියලා ජාතියක් ගෑවිලාවත් තිබුණේ නෑ.
කොහොමහරි එතැනින් අමාරුවෙන් ගොඩට ආවත් එලයිසාගේ වම් කකුල තඩිස්සි වෙලා ඉදිමිලා තිබුණේ හොලවගන්නවත් බැරි වෙන විදිහට. ඒ නිසා එයාව සික් රූම් එකේ නවත්තන්න අපට සිද්ධ වුනේ ඒකට ඉක්මනට බෙහෙත් නොකළොත් කකුල කපන්න වෙනවා කියලා මැඩම් ෆ්‍රේට, ඩොක්ටර් කියලා තිබුණ හින්දයි.
ඒකෙන් වුණේ අපේ කරදර දෙගුණ වුණු එක විතරයි.
දැන්, මං මේ කියාගෙන යන දේවල් ඔයාට කොහෙත්ම තේරෙන්නේ නැතිව ඇති කියලා මං ඕන ඔට්ටුවක් අල්ලනවා. ඉන්න, මං දේවල් පැහැදිලි කරලා දෙන්නම්.
ඔනික්ස් කියන්නේ අසාමාන්‍ය, ඒ වගෙම අස්වාභාවික හැකියාවන් සහ අවශ්‍යතාවයක් තියෙන අය වෙනුවෙන් හදපු මූලස්ථානයක්.
මෙතැන එක එක විදිහේ අය ඉන්නවා. සුපිරි ශක්තියක් තියෙන අය, මිනිස්සුන්ගේ මනසට බලපෑම් කරන්න පුළුවන් අය, වැම්පයර්ලා, නරවෘකයෝ වගේම මායාකාරී හැකියාවන් තියෙන අයත් ඔනික්ස් වල හිටියා. මේ හැමෝගෙම විශේෂත්වය වුණේ, අපට තියෙන හැකියාවන් සාමාන්‍ය මිනිස් සමාජය ඇතුළේ එළියට දාගන්න බැරි ඒවා වීමයි. ඒකෙන් එක්කෝ මිනිස්සු ඔයාව පිස්සෙක් විදිහට දකිනවා, නැත්නම් ඔයාට බයවෙලා කළබල ඇති කරන්න ගන්නවා.
ගොඩක් ඉස්සර, ඈත අතීත කාලෙදි ඒ වගේ අයව මායාකාරයෝ කියලා චෝදනා කරලා මරාදැම්මා. ඇත්තටම එහෙම කරේ එයාලට අනාගතය දකින්න, අනාවැකි කියන්න සහ සාමාන්‍ය මිනිස් හැකියාවන්නේ එහාට ගියපු තරමේ ශක්තියක් හරි, රැපයක් හරි, කටහඬක් හරි තිබුණු හින්දයි. ඇත්තම මායාකාර හැකියාවන් තිබුණු අයත් නොහිටියාම නෙවෙයි, ඒත් ගොඩක් අය ඒ හැකියාවන් හංගගෙන ජීවත් වුණේ. මායාකාරයන් කියලා මරපු අයගෙන් බාගයක්වත් ඇත්තම මායාකාරයෝ නෙවෙයි.
ඒත් පළමුවෙනි ලෝක යුද්දෙන් පස්සේ, අපේ කට්ටියගේ අරක්ෂාව වෙනුවෙන් හැමෝම එකට එකතු වෙලා හිටියොත් වඩා හොඳයි කියන අදහස පැණ නැගුණා. ඉතින් ඒ අදහස ට අනුව ඒ කාලේ යුරෝපයේ ප්‍රබල රටක කුමාරයෙක් තමයි ඔනික්ස් වලට පදනම පටන්ගත්තේ. මුල් කාලේ යුරෝපයේ පුංචි නගරයක රහසින් පටන්ගත්ත මේ මූලස්ථානය, දෙවනි ලෝක යුද්ධය පටන් ගන්න කාලේ ආරක්ෂාව වෙනුවෙන් පැසිෆික් සාගරයේ තියෙන පුංචි දූපතකට අරගෙන එන්නේ අනිත් අයගේ අවධානය යොමු වෙන එක නවත්වන්නයි. එතැනදි අපි දැන් ඉන්න මූලස්ථානය ගොඩනගනවා වගේම, අපේ කට්ටිය ඔනික්ස්වරු කියලා තමන්වම හඳුන්වාගන්න පුරුදු වෙනවා.
ඉතින් අපේ රාජකාරිය තමයි ලෝකෙ වටේම ගිහින් ඔනිස්ක්ස්වරු හොයාගෙන ඇවිත් කරදරේ වැටෙන්නෙ නැතිව ජීවත් වෙන හැටි පුරුදු කරන එක. චැන්ඩ්ලර් වගේ පරම්පරාගත ඔනික්ස්වරු ඉන්නවා. ඒ කියන්නෙ එයාලගෙ හැකියාවන් එන්නේ පරම්පරාවෙන්මයි. හැබැයි ඒක වෙන්න නම් බලවත් ඔනික්ස් ජාන තියෙන්න ඕනේ. එහෙම නැත්නම්, ලෝකේ ඕනම තැනකින් ඔනික්ස් කෙනෙක් බිහි වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම වැම්පයර් හරි නරවෘකයෙක් හරි හපාකාපු කෙනෙක් පහසුවෙන් ඔනික්ස් කෙනෙක් වෙනවා. එහෙමත් නැතිනම් විශේෂ හැකියාවක් වුණත් වැඩිදියුණු වෙලා ඔනික්ස් කෙනෙක් බවට හැරවෙන්න පුළුවන්. හරියට ගායකයෝ, කාර්මිකයෝ, කෝකියෝ වගේ. (ඔව්, මාව විශ්වාස කරන්න. ඔනික්ස්ලා අතරේ විශේෂ හැකියාවන් තියෙන කෝකියොත් ඉන්නවා.) තවත් සමහර අයට අනතුරකට හරි, ලොකු කම්පනයකට හරි මුහුණදෙන්න වුණාම එයාලගේ මොළේ අලුතින්ම සකස් වෙලා ඔනික්ස් කෙනෙක් බවට හැරෙන්නත් පුළුවන්.
ඉතින් අපි මේ විදිහට ඔනික්ස්ලාව හොයාගෙන ඇවිත් එයාලගෙ අනන්‍යතාව ගැන එයාලට තේරුම් කරවලා දෙනවා. ඒ හැකියා තියාගෙන සාමාන්‍ය සමාජයට මුහු වෙන විදිහ එයාලට කියලා දෙනවා. සාමාන්‍යයෙන් පරම්පරාගත ඔනික්ස්ලාට නම් පුරුදු කරවන්න දෙයක් නැහැ. එයාලා පවුලේ උරුමයන් ගැන උපතින්ම දැනගෙනයි එන්නේ. කාටහරි පාලනය කරන්න බැරිම තරම් බලයක් එනවා නම් තමා එයාලා ඔනික්ස්වලට එවන්නේ.
ඒත් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ඔනික්ස් හැකියාවන් ගැන දන්නේ නැති අයව එකතුකරගන්න ගියාම. සමහර අය හිනත්නේ එයාලට මානසික ප්‍රශ්න තියෙනවා කියලා. තවත් අය ඉන්නවා පොඩි වයස්වල ඉන්න අයත්. ඒ අයව හොයාගෙන වෙනම මුල ඉඳන්ම හැම දෙම කියලා දෙන්න සිද්ධවෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔනික්ස් හැකියාවන් තියෙන, ඒත් අපට හොයාගන්න බැරි වෙන අයත් ගොඩක් ඉන්නවා. සාමාන්‍යයෙන් කෙනෙක් අසාමාන්‍ය හරි, අස්වාභාවික හරි හැකියාවක් පෙන්නනවා නම් අපි ඒ කෙනා ගැන හොයන්න පටන් ගන්නවා. ඊට පස්සෙ එයා ඔනික්ස් කෙනෙක් නම් බේස් එකට එක්කගෙන ඇවිත් එයාව පුහුණු කරවනවා.
ඉතින් ඔය දැනට ඇති. අපි ආපහු කතාවට බහිමුකෝ!
එලයිසාට එන්න විදිහක් නැති නිසා, එයා යන්න හිටපු බොස්ටන් ගමනට යන්න වුණේ මටයි. මගේ උදව්වට, මාත් එක්ක ගමන එන්න ඇලෙක්ස් පොරොන්දු වුණත්, එදා උදේම එයාට හදිසියේ වෙන වැඩක් වැටුණු හින්දා ගමන යන්න වුණේ මට තනියමමයි. ඒක ලොකු ගැටලුවක් වුණේ නැතතේ මීට කලිනුත් මම ඔය වගේ ගමන් ඕනෙ තරම් ගිහින් තියෙන හින්දා. ගෑනු ළමයෙක් විදිහට තට්ට තනියම මගේ වැඩ කරගන්න මම පුරුදු වෙලා හිටියා. ඉතින් කවුරුහරි හිටියත් නැතත් ඒක බාධාවක් කර නොගෙන මගේ වැඩේ කරගෙන එන්න මට පුළුවන්කම තිබුණා.
පොඩි ගමන් මල්ලකට ඕන කරන කලමනා ටිකක් අහුරගත්තු මම බේස් එකේ වහළට ගොඩ වුණේ හෙලිකොප්ටර් එකට නගින්න ඕනෙ හින්දයි. අපට අපේම කියලා ප්‍රයිවට් හෙලිකොප්ටර් කීපයක් තිබුණා. ඒත් ඒවා ගොඩක් දුර ගමන් කරන ඒවා නෙවෙයි. සාමාන්‍යයෙන් නම් අපි ඒවා පාවිච්චි කරන්නේ දූපතෙන් පිටට යන්න ඕනෙ වෙන වෙලාවට විතරයි. මොකද අපේ පැවැත්ම රහසක් විදිහට තියාගන්න නම් අපට ප්‍රසිද්ධ ගුවන් සේවා පාවිච්චි කරන්න බැහැ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ ළඟපාත ගොඩබිමක තියෙන අපේ පෞද්ගලික ගුවන් තොටුපළකට ගිහින් එතැන ඉඳන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවක් පාවිච්චි කරලා ගමනාන්තයට යන එක.
ටෙඩ් මාව ලොස්ඇන්ජලීස් වලින් බස්සලා යන්න ගියා. එතැන ඉඳන් මම දේශීය ගුවන් සේවයක් හරහා බොස්ටන් වලට ආවේ කෝච්ච්යෙන් මේ ගමන යන්න දවසක් විතර ගතවෙන බව දන්න හින්දයි.
මගේ ඉලක්කය වුණේ බොස්ටන්වල උසස් පාසල් යන අවුරුදු දහ නවයක පිරිමි ළමයෙක්. මගේ වයසේ අනිත් ළමයි උපාධිය වෙනුවෙන් මහන්සි වෙනකොට මෙන්න මම- ලෝකෙ වටේ ගිහින් පිස්සෝ විදිහට හංවඩු ගැහුණු මිනිස්සුන්ව එකතු කරනවා! මීට සති දෙකකට විතර කලින් එයා වැම්පයර් කෙනෙකුට අහුවෙලා තිබුණා. ඉතින් දැන් අපට සිද්ධවෙනවා එයා දිහා ඇහැගහගෙන ඉඳලා එයාව අරගෙන එන්න. ඒක තමා මගේ රාජකාරිය වුණේ. එයාට තත්වේ තේරුම් කරවලා දීලා එයාව හොඳින් හරි නරකින් හරි ඔනික්ස්වලට අරගෙන එන එක.
ඉතින් මං ආයමත් වැඩ පටන්ගන්නයි යන්නේ!
ඒ වගේම