01 වන දිගහැරුම 🎵
ට්‍රීං..! ට්‍රිං..! ට්‍රිං..!
උදේම බෙරිහන් දෙන එලාම් එකට අපුර්ව අතින් ගහපු දෙවෙනි වතාව මේ..
නිකමට වගේ ඔලුව උස්සල බැලුවාම...
“අප්පටසිරි 7.45යි..”
Please ensure you’re there at 9.00 AM sharp
ඊයේ ආපු interview email එකේ අන්තිම වාක්‍යය අයෙමත් ඇස් ඉස්සරහා මැවිලා පෙනුනා..
“උබට බුදුසරණයි අපූර්ව. සියලු දෙවි දේවතාවුන්ගේම පිහිටයි..”
ඇදෙන් බිමට පැනපු පාර පුටුවේ හේතු කරලා තිබ්බ guitar එක බිමට වැටෙන්න යද්දිම අපූර්ව කලේ Jack Roseව අල්ලගන්නවා වගේ guitar එක වැටෙන්න නොදී අල්ලගන් එක..
“ඔයාගේ මයිල් ගහකටවත් මම හානි වෙන්න දෙන්නේ නෑ මගේ Aiden Ambrose..”
ක්ෂණිකව guitar එකේ neck එකෙන් අල්ලලා headstock එකට කිස් එකක් දීලා ආයෙම interview එක මතක් වෙච්ච අපුර්ව, දෙවෙනි වතාවටත් Aiden දිහා බලන් ඉදලා ඉක්මනට බාත්රූම් එකට පැනගත්තා..
නාන ගමනුත් මතක් උනේ guitar එකේ කකුල වැදුන එක..
එයාගේ හිත රිදුනද දන්නේ නෑ..
අපුර්ව පුංචි කාලේ ඉඳලම පුරුද්දක් විදිහට හිතට ලග හැම දේකටම නමක් දානවා.. Apartment එකේ නම Brooks, වාහනේ නම Dexter.. ගිටාර් එකේ නම Aiden.. බ්ලා බ්ලා..
Guitar අරන් දුන්නේ අපුර්වගේ තාත්තා. 5 වසරේදී.. එයාට තාම මතකයි තාත්තා එයාව අතින් අල්ලගෙන music class එක්කක්ගෙන යනවා.. Guitar එකත් එයාගේ තරම්ම උස ඇති ඒ කාලේ..
“වොෂ් නොදා ලවු කර කර ඉදපන් උබ අපූර්ව.. Interview යන්නේ උබේ බාප්පද..?”
ඒ මතක් වුන ක්ෂණිකෙට සුටුස් ගාලා වොෂ් දාලා, එලියට ඇවිත්, මැදලා තිබුන සුදු ශර්ට් එකයි රෝයල් බ්ලු කලිසමයි ඇදගෙන කොන්ඩේ අතින් හදලා Dexterගේ යතුර අතට ගත්තා..
අපාර්ට්මන්ට් එකෙන් වාහනේ එලියට දාන කොටත් වෙලාව 8.25ට විතර ඇති..
තාත්තාගේ දේපලවලින් අපූර්ව එයාටම කියලා පාවිච්චි කරන්න ගත්තේ Guitar එක, Apartment එක, වාහනේ විතරයි..
Mr. වෙත්තසිංහ, තාත්තාගේ ලෝයර් අපුර්වගේ 18 වෙනි උපන්දිනේ දවසේ අපූර්වට කැමති වාහනයක් තෝරගන්න පුළුවන් කියලා කියද්දී..
“වාහනයක්..? ලයිසන් එකවත් අරගෙන නැහැනේ පුතේ ඔයා තවම..? මම මේ කියන්නේ ඔයා තවම පොඩි නිසා..”
බාප්පා අපූර්වගෙන් ඇහුවේ අපූර්වට 18 ලබලා සතියක්වත් නැති නිසා..
“Mr. කේසර.. හරි නම් එකක් නෙමෙයි, වාහන 8ම අයිති අපුර්වට තමයි.. මම කිව්වේ එයාගේ පාවිච්චියට එකක් ගන්න කියලා..”
“මම කිව්වේ එහෙම නෙමෙයි Mr. වෙත්තසිංහ. මේ සේරම දේවල් කොහොමත් අයිති අපූර්වට.. ඒත් තිබුන පලියට දේවල් නිකන් නාස්ති කරන්න ඕන නැහැනේ..”
ඒත්, කේසර කියපු දේට වැඩි අවදානයක් නොදී වෙත්තසිංහ අපූර්ව දිහාවට හැරිලා..
“කියන්න අපූර්ව මොකද්ද ඔයාගේ choice එක..?”
අහද්දී..
“සුබාරු එක..”
අපුර්ව උත්තර දුන්නා.
“You Sure..?”
වෙත්තසිංහ ආයෙම අහද්දී..
“Thousand Per Cent..!!”
අපුර්වගේ උත්තරේ වෙනසක් වුනේ නැහැ..
“Anything Else..?”
අතේ තිබුන ඩොක්යුමන්ට්ස් ටික පිලිවෙලට හදලා ෆයිල් එකත් වහලම වෙත්තසිංහ ආයෙම අහද්දී..
“මාව හම්බෙන්න ඉද්දී අම්මයි තාත්තායි හිටපු අපාර්ට්මන්ට් එකට යන්න හිතාගෙන ඉන්නේ මම..”
අපූර්ව කියද්දී, වෙත්තසිංහට වචන හොයාගන්න බැරි වුනාද, නැත්තම් තියෙන වචන වලින් එයාට කියන්න ඕන දේ කියාගන්න බැරි වුනාද අපුර්ව දන්නේ නෑ..
තාත්තා නැතිවෙන්න කලින් ලෑස්ති කරලා ගිය විදියේ හැටියට, මාසෙකට ලැබෙන පොකට් මනි වලින් තව 3, 4 දෙනෙකුට උපරිම සැප පහසුවෙන් ජිවත් වෙන්න පුළුවන් කම තිබ්බත්, කැම්පස් ඉවර වුන ගමන්ම අපුර්වට ජොබ් එකකට යන්න ඕන වුනා..
මොකද, අපුර්වට ඕන වුනේ තමන්ටම කියල අයිඩෙන්ටිටි එකක් හදාගන්න..
“ඔයා ජයබාහු කරුණාරත්නගේ පුතා කියලා නෙමෙයි, මාව අපුර්ව යාත්‍ර කරුණාරත්නගේ තාත්තා කියලයි මිනිස්සු අදුරගන්න ඕන..”
අපුර්ව ඕලෙවල් අන්තිම පේපර් එක ලියන්න යන දවසේ ඉස්කෝලේ ලගදී එයාගේ කම්මුල් දෙකට අත් දෙක තියලා තාත්තා කියපු විදිය එයාට තාම මතකයි..
එදා තාත්තා අපුර්වව ඉස්කෝලේ ලගින් බැස්සුවේ මේ සුබාරු එකේ..
එදා, අන්තිම පේපර් එක කරලා අපුර්ව එලියට දුවගෙන ආවේ තාත්තාව බදාගන්න..
එත් තාත්තා වෙනුවට එදා ඇවිල්ල හිටියේ බාප්පා..
“කෝ තාත්තා..?”
“යමු ගෙදර..!”
අපුර්වට තවමත් එදා ඉඳන් තාත්තගේ හත් දවසේ දානේ දෙන දවස වෙනකල්ම ගත කරපු දවස් මතක නැහැ..
හැම චැනල් එකකම ප්‍රධාන ප්‍රවෘත්තිය වුනේ ජයබාහු කරුණාරත්නගේ ඝාතනය..
“නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඝාතනය කරන ලද සුප්‍රසිද්ධ ව්‍යාපාරික ජයබාහු කරුණාරත්න මහතාගේ දේහයේ අවසන් කටයුතු හෙට දින බොරැල්ල සුසාන භූමියේදී--”
හෝන්ක්..!
අපුර්ව ගැස්සිලා ආයේ පියවි ලෝකෙට ආවේ පිටිපස්සේ වාහනේ හෝන් සද්දෙට..
“යන්නම් සුදු මහත්තයා.. යන්නම්.. ඇයි මේ කලබලේ..?”
විසිල් පාරක් ගහගෙනම වාහනේ ගෝල්ෆේස් එක ගාවින් දකුණට හරවපු අපූර්ව, හරියටම වෙලාව 8.55 වෙදිදීම Cinnamon Life එක ලගට ආවා..
එහෙමම කලබලේට වාහනේ පාක් කරලා දුවගෙන දුවගෙන ගියේ ලිෆ්ට් එක දිහාවට..
යද්දීම ෆුල් සුට් ගහගත්ත සෑහෙන උස ඩයල් එකක් ලිෆ්ට් එක ඇතුලේ..
තිබ්බ තදියමට බෝර්ඩ් කියවන්න ගියේ නෑ, අපූර්ව කෙලින්ම අත දික් කලේ ලිෆ්ට් එක නවත්තගන්න කියන්න වගේ..
ඇතුලේ හිටපු මනුස්සයගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන..
යකෝ මු ලිෆ්ට් එක නවත්තන්න තියා හිතුවෙවත් නෑ.. මුගේ ආච්චිට...
හිතින් බැන බැනම ලිෆ්ට් එක ඇතුලට පැනගන්න හැදුවත්..
එක පාරට දෙපැත්තෙන් අත් දෙකක් එලියට එනවත් එක්කම..
“This is reserved only for the top management and above..”
කියද්දී..
කවුද යකෝ කතා කරන්නේ..?
හිතන පරක්කුවට..
කළු පාට ඇදගත්ත සිකියුරිටි ගාඩ්ස්ලා දෙන්නෙක් ලිෆ්ට් එකේ දොර දෙපැත්තෙන් එක පාරට මතු වෙද්දී..
අපුර්ව එක පාරට පිටිපස්සට ගිහින් ආයෙම උඩ බැලුවේ එහෙම ගහලා තියනවද බලන්න..
හම්මට සිරි තද රතු පාට ලොකු අකුරින් මේ ගහලා තියෙන්නේ..
එහෙමම වෙලාව බැලුවා..
8.57යි..!
“Please.. Please.. Just this once.. Please let me use it.. Please..!!”
අපුර්ව මෙහෙම වෙලාවට පාවිච්චි කරන්න තියාගෙන හිටපු අහිංසකම බැල්මවල් වලින් එකක් දාල උස හාදයව පොඩ්ඩක් රවට්ටගන්න හදද්දී..
“මිස්ට—”
ආයෙමත් පැත්තක ඉන්න කළු ඇදගත්ත ඩයල් දෙකෙන් එක්කෙනෙක් පැනලා දෙන්න හදද්දිම..
යකෝ මේ උස පිට්ටු බම්බුව ගොලුයිද..? වෙලාව යනවා යකෝ.. මාව මේකේ එක්කන් පලයං..!!!!
හිතන පරක්කුවට..
“Let him in..”
හෑ..?
මෙන්න උස පිට්ටු බම්බුව කතා කරපි..
ඉතින්, කළු රැහයියෝ දෙන්නා ඒක අදහගන්න බැහැ වගේ මුනට මුණ බලාගෙන නැට්ට පස්සේ ගහගෙන අයින් වෙලා ඉඩ දුන්නා..
අන්න එහෙම.. අපිට මේ ටොප් මැනේජ්මන්ට් ලොකු නෑ යකෝ..
“ගූඩ් මෝනින්..”
උස ඩයල් එකට කියාගෙනම අපූර්ව ලිෆ්ට් එකට නැග්ගත්..
“..................”
ඒක සත පහකට ගණන් නොගෙන සාක්කුවට අත් දෙක දාගෙන උස ඩයල් එක ඉස්සරහා බලාගත්තා..
වස ලැජ්ජාව..!
මෙතන මුකුත්ම සිද්ධ වුනේ නැති ගානට ලිෆ්ට් එකේ 13 press කරලා අපූර්වත් කලේ අහක බලාගන්න එක..
මූ යකෝ..
ඕන නම් වයස 25ක් වගේ ඇති මුට..
ටොප් මැනේජ්මන්ට් එකටත් ගිහින්ද..?
මුගේ සුවද බලපන්කෝ..
පර්ෆියුම් බෝතලයක්ම ඇගේ හලාගෙනද මේකා..?
Ocean vibe එකේ සුවදක් එන්නේ..
ඩයල් එක හැන්සම්..
අර කොරියන් ඩ්‍රාමා වල ඉන්න Chairman vibe එකකුත් තියෙනවා..
ලිෆ්ට් එක උඩට යන තප්පර කීපෙට හිතට ගලාගෙන ආපු දේවල්වලට..
මේ මොකද යකෝ මම මේ උස පිට්ටු බම්බුව ගැන හිතන්නේ..?
මටත් පිස්සු..!
තව තප්පර 45ක් වගේ යද්දි 13th floor එක ලග ලිෆ්ට් එක නැවතිලා bell එක ring වෙද්දී..
“Thank you so much.. This means alot to me.. You saved my day..”
ලිෆ්ට් එකෙන් බැහැලා අපුර්ව බැහැලා ආයෙම තෑන්ක් කලත්..
උස පිට්ටු බම්බුව තිබ්බා වගේම එහෙමම හිටියා මිසක් කිසිම ප්‍රතිචාරයක් නෑ..
අනේ බම්බු ගහගනින්..
හිතාගෙන අපුර්ව ආයෙම අනික් පැත්තට හැරිලා වෙලාව බලද්දී..
9.00..!
මේ අපුර්වගේ පළවෙනිම interview එක..
ඇයි දන්නේ නැහැ අපුර්වට අමුත්තක් දැනුනේ නැහැ..
එක්කෝ උදේම තාත්තා කියපු දේවල් මතක් වුන නිසා ඉබේම හිතට අමුතු පණක් ඇවිල්ලද මන්දා..
“You’ll need to stick around for about 2 hours or so.. The next interview is with the top management committee..”
පලවෙනි interview එක ඉවර වුනාම interview board එකේ හිටපු තුන් දෙනාගෙන් එක්කෙනෙක් අතට අත දීලා අපූර්වට කිව්වේ දොරෙන් එලියේ පේන waiting area එක දිහාව අතින් පෙන්නන ගමන්..
මම පාස්ද? පලවෙනි එක?”
තනියම හිත හිතම waiting area එකට ගිහින් ඉඳගන්න හැදුවත්..
පැය දෙකක්..?
එතකන් පොඩ්ඩක් මේකේ වටයක් දානවා..
එතන ඉන්න කම්මැලි වෙයි හිතලා එහෙමම පහල තිබ්බ කැෆේ එකට ගියා..
“Iced Latte tall please..”
කොෆී එකත් අරගෙන ඇවිත් කැෆේ එකේ අයිනේ පාර පේන තැනක ඉඳගත්ත අපූර්වට දැන් ඇතින් මුහුද පේනවා..
ටික වෙලාවක් ඈත බලන් ඉඳලා airpods දෙක කණේ ගහගෙන සින්දුවක් ප්ලේ කරලා..
මේ ඔබට ඇසෙනවද හඩන හිතක හඩ...මේ ඔබට දැනෙනවද තැවෙන හිතක දුක...
ඇස් දෙකත් පියාගෙන දැහැනකට සම වැදිලා වගේ ඉද්දී..
“මොක්—”
හදිස්සියෙන් වගේ දෙපැත්තට ඔලුව ගැස්සුවේ, අර ලිෆ්ට් එකේ හිටපු උස හාදයා ඔලුවේ ඇඳිලා මැකිලා ගිය නිසා..
මේ යකා මොකට මගේ ඔලුවට ආවද?
කලබලෙන් ඇස් ඇරලා හිතන පරක්කුවට..
ඉඳගෙන ඉන්න තැනට ඉස්සරහ තියන වීදුරුවෙන් අපුර්වට ලාවට පේනවා ඒ උස හාදයාගේ රූපේ වගේ ඡායාවක්..
හිතලුවක්දෝ හිතලා පිටිපස්සට ඔලුව හරවලා බලද්දිම..
හම්මට සිරි.. මූ හිනාවෙන්නත් දන්නවා එහෙනම්.. යකෝ බැලින්නම් රැස් දැම්මේ මට විතරනේ...
උස හාදයා මේ, 15 දෙනෙක් විතර වට කරගෙන, ඒ හැමෝම එක්ක කතා කරන්නේ, පුදුම තරමේ ලස්සන හිනාවක් මුනේ තියාගෙන..
අපුර්ව ඔලුව පිටිපස්සට කරකවගෙන මේ සේරම කල්පනා කරද්දී, හදිසියේම උස හාදයා මේ දිහා බැලුවේ අහම්බෙන් වගේ..
තප්පර බාගෙන් ඒ මූණෙන් හිනාව වාෂ්ප වෙලා යද්දී..
කොයි යකෝ මූණේ හිනාව..?
මූට මොකද්ද අප්පා මාත් එක්ක තියෙන අවුල..?
අපුර්ව ආයෙම ඉස්සරහට හැරුනේ ‘ඕන රෙද්දක්’ කියලා හිතලා ඇස් රෝල් කරලමයි..
තව පැය එකහමාරක් විතරම කැෆේ එකේ ඉදලා අපුර්ව ආයෙමත් 13 තට්ටුවට යද්දිම..
“අපූර්ව යාත්‍ර කරුණාරත්න..?”
නම කියද්දි..
තවමත් අපූර්වට හිතට අමුත්තක් හරි අපහසුවක් හරි දැනිලා තිබුනේ නැහැ..
ස්ට්‍රෙස් එකක් නම් කොහොමටවත් තිබුනේ නැහැ..
ඒ නිසාම කිසි කලබලයක් නැතුව දොර ඇරගෙන ඇතුලට යද්දී..
හම්මට දෙවි පිහිටයි..
උස ඩයල් එක මෙතන..
“Good morning..”
අපුර්ව මූණේ හිනාවක් ඇඳගත්තේ එතන ඉන්න තුන්දෙනා දිහාවම බලලා..
තුන් දෙනෙක්..!
Interview board එකේ තුන් දෙනෙක් හිටියා..
එක්කෙනෙක් උස ඩයල් එක.. මිනිහා මොනවද ෆයිල් එකක් දිහා බලාගෙන ඉන්නවා මිසක් මේ දිහාවට අවදානය දුන්නේ නැති තරම්..
අනික් එක්කෙනා උස ඩයල් එක තරම්ම නැති වුනත් හැන්සම් ලුක් එකක් තියෙන එක්කෙනෙක්..
තුන්වෙනියා අමුතුම හිත ඇදිලා යන කරුණාවන්ත පෙනුමක් තියන, සුදු, තරමක් කෙට්ටු කෙනෙක්..
ටික වෙලාවක් ගිහින්වත් උස හාදයා මේ දිහා ඔලුව උස්සලාවත් බැලුවේ නැහැ..
මුගේ ගණන් යකෝ..
දැන් විනාඩි 20කට විතර කලින් කට්ටියව වට කරන හිනාව බෙද බෙදා හිටපු එකා නේද මේ..?
“Good morning.. have a seat please..”
එතන හිටපු අර හැන්සම් ඩයල් එක අපුර්වට පුටුව පෙන්නලා ඉඳගන්න කිව්වේ..
“Hi myself, Shakya.. Shakya Ranasinghe..”
තමන්ව අඳුන්නලා දෙන ගමන්..
“Hello, I’m Bhathiya Satharasinghe..”
කරුණාවන්ත පාට හාදයත් තමන්ව එහෙම අඳුන්නලා දුන්නට පස්සේ..
දැන් තුන් දෙනාම උස හාදයා දිහා බලන් ඉන්නේ මිනිහා තමන්ව අදුන්නලා දෙනකන්..
ඒත්, මිනිහා ෆයිල් එක දිහාම බලන් ඉන්නේ මෙතන වෙන දේ තඹ සතේකට මායිම් නොකර..
අනේ නටාගනින්..
සිරාවටම මුට මොන යක්සයෙක් වැහිලද යකෝ..
අඳුන්නලා දෙන්න බැරි නම් නිකන් ඉන්න කියපන්..
හිත ඇතුලේ එකම කාලගොට්ටියක් තියෙද්දීත්..
“Hello everyone.. I’m Apurwa.. Apurwa Yathra Karunarathne..”
අපූර්ව උත්තර දුන්නේ කිසිම වෙනසක් නොපෙන්නා..
“Take us through your CV please...”
භාතිය අහද්දී..
අර හිනාව මූණේ තියාගෙන උත්තර දුන්නත් අපූර්වගේ අවදානේ තිබුනේ උස හාදයා දිහාවට..
මුළු වෙලාවේම උස හාදයා හිටියේ මොනවද කුරුටු ගගා..
අත හෙලවෙන විදියට මොනවත් ලියනවා වෙන්න බැහැ..
මොනවා හරි බොරුවට කුරුටු ගානවා මිනිහා..
ප්‍රශ්න අහලා, ඒ අහන ප්‍රශ්නවලට උත්තර දීලා විනාඩි 10ක් විතර ගියත්, උස හාදයාට මොනවත් දැනගන්න ඕන නැහැ වගේ..
උස පගයා..!
මූ යකෝ ලෝඩ් කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ..
“Okay.. So.. that’s pretty much it.. I think we are done here..”
ශාක්‍ය හිනාවේගනම කියද්දී..
අන්න එහෙම හිනා වෙලා ඉදපන්කෝ අනික් එකාත්..
ආයේ හිතෙන් උස හාදයට බැන බැන අපූර්ව ඉඳගෙන හිටපු තැනින් නැගිටින්න හදද්දී..
“Why Should we hire you..?”
එකපාරටම ඇහුන ගැබුරු කටහඩට..
හම්මට යකෝ..
මුට කතා කරන්නත් පුලුවන්ද..?
ආයෙම ඉඳගත්ත අපූර්ව කෙලින්ම බැලුවේ උස හාදයා දිහාව..
“I think I’m a great fit for this role because I’ve got the right skills, experience, and a real passion for the industry.. I’ve looked into the company and I’m confident I can add value as it grows.. I’ve got a positive attitude, solid work ethic, and my long term goals line up well with what this role is all about.. So I’m ready to give it my best and be a real asset to the team..”
අහපු ප්‍රශ්නෙට අපූර්ව දුන්න උත්තරේට..
“We have enough and more resources who have positive attitude, work ethics, and long term goals align with the job requirements.. Anything unique that you can bring to the table..?”
උස හාදයා ආයෙම ප්‍රශ්නයක් අහද්දී..
Unique..?
අනේ අම්මපා මට දැන් නම් මුව කන්න පුළුවන්..
“We need a unique resource for this project as it is the most important one in the entire company history.. Anything that you can highlight that makes you unique..?”
උස හාදයා ආයෙම අහද්දී අපූර්ව ඒ දිහා බලන් හිටියා මිසක් උත්තර දෙන්න වුවමනාවක් තිබුනේ නැති ගානයි..
හරියටම කිව්වොත් අපුර්වට උත්තර මතක් වුනේ නැහැ නෙමෙයි දැන් මේ උස හාදයා එක්ක කේන්තියට වචන මතක නෑ කිව්වොත් හරි..
“Nothing..??”
උත්තර නැති නිසාම සමච්චල් හිනාවක් ඒ මූණේ ඇඳෙද්දී..
“I believe.. Everyone is unique in their own way...”
ඒ හිනාවටමදෝ අපූර්වට උත්තර එද්දී..
“Ahaa.. Then what’s your uniqueness...?”
ආයෙමත් ප්‍රශ්නයක්..
“Migara... Go easy on him..”
ශාක්‍ය හැදුවේ මෙතන තත්වේ සමතයකට පත් කරන්න..
අහා..!
මිනිහගේ නම මිගාර...
මිගාර නෙමෙයි මු එළාර..!
“I am a very good communicator and find it is easy for me to relate to other people... If I have a problem with someone.. I do communicate without creating unnecessary tension between my self and the person.. That is my uniqueness Migara..”
අපූර්වගේ කටහඬේ තරමක තද ගතියක් තිබුනදෝ..
“Excellent.. That makes you more unique. I think we can now conclude this.. We’ll let you know if you are shortlisted..”
වැඩේ දුර ඇදෙන බව දැනිලදෝ භාතිය කතාව මැදට පනිද්දී..
අපුර්ව පුටුවෙන් නැගිට්ටා..
ශාක්‍යට අතට අත දුන්නා..
භාතියට අතට අත දුන්නා.
මිගාරට අත දෙනවද නැද්ද කියල කල්පනා කර කර ඉදලා ඔන්න ඔහේ ඕන රෙද්දක් කියල අත දික් කළා.
තප්පර කීපයක්ම අපූර්ව දිහාත්, තමන් දිහාවට දික් කරගෙන ඉන්න අත දිහාත් බලපු මිගාරගෙන් ප්‍රතිචාරයක් නැති තැන අපූර්ව අත අරගන්න හදද්දිම..
වචනයක්වත් නොක්යාම හදිස්සියේම අපූර්ව දික් කරගෙන හිටපු අත අල්ලගත්තේ දිග වෙවුලන ඇගිලි..
ඕනම නම් තප්පර තුනක් අල්ලාගෙන ඉන්න ඇති, අත ඇදලා අරන් මිගාර ආයෙම ෆයිල් එක දිහා බලාගත්තා..
මු නම් ගානට වැඩියි එළාර පගයා..
දොර ඇරගෙන එලියට එන ටිකටත් මිගාරට බැන බැන ආපු අපූර්ව නැවතුනේ ලොබි එකේ..
කලින් interview ඉවර කරපු එක්කෙනා තාම ඉගෙන ඉන්නවා ලොබි එකේ තියන සෝෆා එකේ..
“Hi.. I’m Kalana.. How was it..?”
අපූර්ව ඉන්න තැනට ආපු කළණ ඇහුවේ හිනාවකුත් එක්කම අපූර්වගේ උරහිසට අතකුත් දාගෙන..
“Hi..! Apurwa..”
අපූර්වත් ඒ හා සමානම හිනාවකින් සංග්‍රහ කරද්දී..
“උන් දෙන්නා uncomfortable කරන්නේ නැහැ නේද? හෙන smooth ප්‍රශ්න අහනවා..”
අහ්හ්.. මුටත් එලාරයා වැඩ දීල වගේ..
“ම්ම්.. ඔව් තුන් වෙනියා තමයි ටිකක්—”
මිගාරව මතක් වුන නිසාම කටත් ඇද කරගෙන අපූර්ව උත්තර දෙද්දී..
“අහ්...? උබට තුන් දෙනෙක් හිටියද?? මාව කලේ දෙන්නයිනේ බං..”
හෑ...??
අරූ හොල්මනක්වත්ද එහෙනම්..?
වෙන්න බැහැ අනික් උන් දෙන්නත් කතා කලේ ඌ එක්ක..
ඒකට මොනවා කියන්නද හිතාගන්න බැරුව ඉද්දි කැබින් එකේ දොර ඇරගෙන එලියට ඇවිත්, මිගාර එතනින් ගියේ හරියට මෙතන උගේ සීයාගේ බුදලේ වගේ..
“මූ හිටියේ නැහැ මගේ පැනල් එකේ..”
කලණ මිගාර දිහාවට ඇස් යවලා කියද්දී..
“හාහ්..?”
අපූර්වට කියාගන්න මතක් වුනේ එච්චරයි..
***නැවත හමුවෙන තුරු***