ඇරඹුමට පෙර ☁️
දයාබර යශොද්,
මම මේ ලියුම පටන්ගන්න ඕන කොතනින්ද..?
'සතුටින් ඉන්නවද' අහන්නද..?
'සනීපෙන් ඉන්නවද' අහන්නද..?
'හැමදේම හොඳින් සිද්ධ වෙනවද' අහන්නද..?
ම්හ්හ්..
උත්තර දන්න ප්‍රශ්න ආයේ ආයේ මොකට නම් අහන්නද..?
ඉතින් ඒ හින්දම..
ප්‍රශ්නයක් අහනවා වෙනුවට..
දැන් කොච්චරදෝ කාලයක් තිස්සේ කියන්නම කියන්නම හිත වද දුන්නත්, ගැලපෙන අකුරු එකතු කරගන්න බැරි වුන හින්දම, කියන්න මගැරුනු ඒ උත්තරය අද ඉඩක් ලැබුන වෙලාවේ මෙහෙම අකුරු කරන්නම්..
මම දන්නවා..
අහම්බෙන් ඉලක්කමක් ඇහැ ගැටුනොත්, ඒක අහම්බයක් විතරයිමද නැත්තම් විශ්වය මොකක්ම හරි රහස් පණිවිඩයක් කියන්න උත්සහ කරනවද කියලා ඔයා තවමත් හොයන බව මම දන්නවා..
මම දන්නවා..
අහසේ රටා මවන දේ අතරින්, හැම මොහොතකම උණුහුම වෙනස් කරන ඉර, දවස ගානේ වෙනස්ම හැඩතල ගන්න හඳ, තැනින් තැන ඔහේ විසිරුන තරු, පිලිවෙලක් නැතිව රංචු ගැහුන වලාකුලු මොනවම හරි රහස් කතාවක් මුමුණන්න හදන බව ඔයා තවමත් විශ්වාස කරන බව මම දන්නවා..
මම දන්නවා..
දැන් සෑහෙන කාලයක් තිස්සෙම ඔයාගේ හිත කෑ ගගහා ඔයාගෙන්ම අහන ප්‍රශ්නෙට උත්තරේ කොහෙන්ම හරි හොයාගන්න ඔයා තවමත් මහන්සිවෙන බව මම දන්නවා..
ඉතින්..
විශ්වය කී වතාවක්දෝ කියන්න හදපු රහස් පණිවිඩයත්, අහස කී වතාවක්දො මුමුණන්න හදපු රහස් කතාවත්, අර ප්‍රශ්නෙට එකම උත්තරය බව තවම තේරුම් අරගෙන නැති බව දන්න හින්දම, කවදාවත්ම තනියම තේරුම් ගන්නෙත් නැති බව දන්න හින්දම..
ඒ අහම්බෙන් දැකපු අංක අතරින් වාසනාවන්තම අංකය අංක නවය බවත්..
අර අහසේ තැනින් තැන රටා මවන දේවල් අතරින් ලස්සනම රටා මවන්නේ වලාකුලු බවත්..
ඉතින්..
ඔයාගේ ප්‍රශ්නෙට එකම උත්තරය නවවෙනි වලාකුල බවත් ඔයාට කියලා දෙන්නයි මම මේ කතාව ලියන්නේ..
ඉතින් ඒකට ඇයි කතාවක්..?
Memory full වුන දවසක delete කරලා දාන්න සිද්ධ වෙන වට්සැප් පණිවිඩයක් අකුරු කරලා එවනවාට වඩා, අමතක වෙන වාරයක් වාරයක් ගානෙ ආයේ ආයෙම ඇවිත් කියවන්න ඔයාට මතක් කරවන්න ඒ උත්තරය මෙහෙම අකුරු කරලා තියන එක හොඳ නැද්ද..?
ඉතින් යශෝද්,
මේ කතාව තනිකරම ඔයාට.. ♥️










