පලමු කොටස
පෙනෙන තෙක් මානයේ විහිදී ඇති මන්දාරම් අහසත්, සුළඟට ගසාගෙන ආ ඇහැල මල් පෙති සෙමින් බිමට වැටෙන දෙසත් හිස් බැල්මකින් බලාගෙන සිටි ඈ, ජනේල කවුලුවලින් ආ හිරිකඩ නිසාම දෑත් එක් කොට බැඳ ගත්තේ කල්පනා ලෝකයක අතරමං වෙමිනි.
“මොනවද බං අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්නෙ ඔච්චර ?”
ඈ පියවි සිහියට පැමිණියේ ඇගේ හොඳම යෙහෙළියගේ කටහඬ ඇසීමත් සමඟය.
“මොකුත් නෑ අරා. මම ආසයි ඉර පායන්නැතුව වහිනව නම් හැමදාම”
“අම්මෝ දැං උඹ ඔය කියන්න හදන්නෙ නිකං ඔතනට වෙලා අහස දිහා බලාගෙන හිටියා විතරයි, වෙන කල්පනාවක හිටියෙ නෑ කියල ද..? හරි ශෝක්, මටනෙ උඹ ඔය කියන්නෙ ඉතිං..”
“අනේ නෑ බං. මට ගෙදර මතක් වුනා. සුමනා නැන්දා මොනව කරනවද දන්නෑ. බලල එන්නවත් යන්න තිබුන නම් හරි.”
“උඹට ඒ ගෙදර එච්චර හිතන්න දේවල් තියනවද බං ඒ මිනිස්සුන්ගෙ හැටි දැන දැනත්..? සුමනා නැන්දා නම් පවු තමයි. ඒත් ආයෙ උඹ කිසිම හේතුවක් නිසාවත් එහෙ යන්න ඕනි නෑ. වුන දේවල් අමතක නෑනෙ උඹට. දැං ඔය දේවල් අමතක කරල දාලා යං තේ බොන්න. මං එන ගමන් පරිප්පු වඩේ ගෙනාවා. මටත් එක්ක තේ එකක් හදපංකො කෙල්ල. හරි මහන්සියි.”
දෙදෙනාම එක්ව කුස්සියට ගියේ තේ පානය කිරීමටය.
“මරු තේ එක බං. කවදාහරි උඹව හම්බ වෙන කොල්ලා නම් මාර ලකී ඈ.”
“ඇයි ඉතිං මං විතරක්, අනික අදනෙ මං උඹට තේ හදල දුන්නෙ. වෙනදට හැමදාම උඹනෙ මට තේ හදල දෙන්නෙ..”
“ම්... ඒකත් ඇත්ත නේ..?”
දෙදෙනාගේ උසුලු විසුලුවලින් පසු ඇති වූයේ දැඩි නිහඬතාවයකි.
“මේ ජොබ් කෙරුවාව හරියන්නෑ අරා. මම ගෙදරින් එන්න ඕනි නිසා ආවට හම්බ වෙන සොච්චමෙන් මොනව කරන්නද බං. අපි දෙන්නගෙම පඩිය එකතු කරල ගත්තත් යන්තම් කාලා ගෙදර කුලිය ගෙවාගෙන ඉන්න විතරනෙ පුලුවන්. ඉතුරුවක් ඇත්තෙම නෑනෙ.”
“ඒක නම් ඇත්ත බං. අපි බලමුකො වෙන ජොබ් දෙක තුනක්. තාම දෙන්නටම 20යිනෙ බං.”
“උඹට නම් තාත්තගෙ බිස්නස්වලට උදව් කරගෙන ඉන්න තිබුනෙ අරා. අපරාදෙ දුක් විඳින්නෙ මෙහෙම ඇවිත්.”
“අනේ පිස්සුද බං. මට ඕව හරියන්නෙ නෑ. අනික තමයි මම දවසක කරන බිස්නස් එකට තාත්තගෙන් සතයක්වත් ගන්නෙ නෑ. මගෙ මහන්සියෙන් හොයාගන්න සල්ලි තමයි මං දාන්නෙ. අනික මං සල්ලි ගැන එහෙම ලොකුවට හිතන්නෑ බං.”
“ඒක ඉතිං උඹ මට කියන්න දෙයක්ද බං..? උඹ සල්ලි ගැන හිතල ඉන්නව නම් මං වගේ හිඟන්නියක් එක්ක මෙහෙට එන්න ඕනිද..?”
“අනේ බං විකාර කියවන්නැතුව ඉඳපංකො. උඹ දන්නවනෙ මං ගැන. උඹ මට මගේ සහෝදරී වගේ. ඒ නිසා ඕව ආයෙ කියවන්න එපා. මං යනව ඇඟ හෝදගෙන එන්න. ගෙනාපු එලවලු ටික ඇති මේසෙ උඩ. පුලුවන් නම් ඒ ටික රැක් එකට දාලා තියපං කෙල්ලෙ.”
තම යෙහෙළියගේ ආදරයත්, බැඳීමත් ඇගේ ජීවිතයට ආශිර්වාදයක් විය. ඒ ඇයට කියා සිටි එකම පවුල තම යෙහෙලිය වූ නිසාය.
“රෑට මොනවද බං හදන්නෙ..?”
“උඹනෙ අරා චෙෆ්. මොනවද හදන්න පුලුවන් කියල බලල කියපංකො.”
“මං එද්දි හතු පැකට් එකක් ගෙනාවා. මොකද කියන්නෙ. අර එදා හදල දුන්නා වගේ හදල දෙන්නද..?”
“අම්මෝ ඒක මතක් වෙද්දි නම් කටට කෙලත් උණනවා බං. එහෙනම් උඹ ඒක හදපං. මං උඹ ඇඟ හෝදන්න ගිය වෙලාවෙ බත් එක ගැහුවා. මං පරිප්පුවක් තෙලට හදල ගන්නම්.”
“ඒක හොඳයි අර ඉතුරු ලුණුදෙහි එකත් ඇතිනෙ. ඒ මදෑ බං. සල්ලි පිරිමහ ගන්නත් ඕනිනෙ.”
දෙදෙනාම එක්ව රාත්‍රී ආහාරය සකස් කරගෙන ආවේ මිදුලේ තිබෙන අඹ ගස යට තනා ඇති ලෑලි බංකුව වෙතය. අඩු ආලෝකයක් සහිත බල්බයක් අත්තක රඳවා තිබුනද ඔවුනේ කෑමට නම් එය බාධාවක් නොවීය.
“මම මේ කියන්න කියල හිටියෙ. හෙට යංද සමන් දේවාලෙ පැත්තට ගිහිං එන්න. අපි මෙහෙට ආවටම පස්සෙ කොහෙටවත් ගියෙ නෑනෙ බං.”
" ඒක නම් ඇත්ත බං. යං ගිහිං එන්න. මං කවදාවත් ඇවිත් නෑ අරා. ”
" උඹට අර ගෙදරින් එළියට අඩියක් තියන්න දුන්නද උන්.? ඕව ගැන කතා කරන්න ගියොත් කන බත් ටික බඩට යන්න කලින් කටේදිම පිච්චෙනවා මට එන කේන්තියට.”
“ඒක මගෙ කරුමෙ වෙන්න ඇති බං. මං ඒක ගෙව්වා. එදා ඒ ගෙදරින් එළියට බැහැල ආවෙ නැත්තං මේ වෙද්දි නැන්දලට වහල්කම් කරලම මැරිල බං.”
“උඹ හිතන්නෙ උඹ ඒ කරුමෙ ගෙවල ඉවරයි කියල ද..? මම දැක්කනෙ අර අශේන්කාරයා උඹ දිහා බලාගෙන ඉඳපු හැටි. ඌට පුලුවන් වුනා නම් උඹට එවෙලෙම මොනවාහරි කරයි එලියට බහින්න බැරි වෙන්න. ජරා බැල්මක් දැම්මෙ ඌ.”
“පොඩි අයියා ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ බං. එයා රට ඉඳන් ආවට පස්සෙ ම ඔය විදිහයි. සෑහෙන වෙනස් වෙලා බං.”
" හරි හරි ඔය බත් එක කාපං අතගගා ඉන්නැතුව. අපි වේලාසන නිදාගමු අද. හෙට උදේ ම කිරිපිඬු ටිකක් හදාගන්නත් ඕනි. යන්න පුලුවන් දවසෙවත් හරියට ගිහිං වැඳල එන්න ඕනි බං.”
“හ්ම්.. ඔව්.. අපිටත් උදේට කිරිබත් ම කන්න පුලුවන්. උඹ දන්නවනේ මං කොච්චර ආසද කියල උඹ හදන කෑම කන්න.”
“හරි හරි මැණිකෙ. ඇති වෙන්න හදල දෙන්නම්කො උඹට හෙට කන්න.”








